යොහන් 1:19-27

යොහන් 1:19-27 SCV

“ඔබ කවරෙක් දැ?” යි අසන පිණිස, යුදෙව්වරුන් ඔහු වෙත යෙරුසලමේ සිට ලෙවීවරුන් හා පූජකයින් යැවූ කල, යොහන්ගේ සාක්ෂිය වූයේ මෙයයි: “මම ක්‍රිස්තුස්වහන්සේ නො වෙමි” යි ඔහු ප්‍රකාශ කළේ ය. එසේ ප්‍රකාශ කරන්නට ඔහු පැකුළුණේ නැත. “එහෙනම් ඔබ කවුරු ද? ඔබ එලියා දැ?” යි ඔවුහු ඇසූහ. “නැතැ” යි ඔහු කීවේ ය. “ඔබ දිවැසිවරයා දැ?” යි ඔවුහු ඇසූහ. ඔහු, “නැතැ” යි කීවේ ය. ඔවුහු යළි ප්‍රශ්න කරමින්, “එහෙනම් ඔබ කවුරු ද? අප එවූ අයට අප උත්තරයක් ගෙන යා යුතුයි; ඔබ කියන්නේ ඔබ කවුරුන්ය කියා දැ?” යි ඇසූහ. යොහන් පිළිතුරු දෙමින්, “යෙසායා දිවැසිවරයා පෙර කී අනාවැකිය පරිදි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය සෘජු ලෙස සකස් කරනු’ යි කී පාළුකරයේ හඬ ගසන්නාගේ කටහඬ මම යැ” යි පැවසී ය. එවිට පරිසිවරුන් විසින් එවනු ලැබූ අය, ඔහු අමතමින්, “ඔබ ක්‍රිස්තුස්වහන්සේවත්, එලියාවත්, දිවැසිවරයාවත් නො වේ නම්, ඔබ බව්තීස්ම කරන්නේ මොක දැ?” යි ඇසූහ. යොහන් පිළිතුරු දෙමින්, “මා බව්තීස්ම කරන්නේ වතුරිනි. එහෙත් ඔබ නො හඳුනන කෙනෙක් ඔබ අතරේ සිටින සේක; මට පසුව එන තැනැත්තාණෝ උන්වහන්සේයි; උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නට තරම් වත් මා වටින්නේ නැතැ” යි පැවසී ය.