යෙරමියා 9

9
1අහෝ, මගේ හිස ජලය වී නම්!
මගේ ඇස්, කඳුළු උල්පතක් වී නම්!
මගේ ජනයා වූ දියණියගේ ඝාතනය උදෙසා
දිවා රැයේ මා වැලපෙනු පිණිස,
2මගේ ජනයා අතැර දමා,
ඔවුන්ගෙන් ඈත් වී යන පිණිස.
අහෝ, මට කාන්තාරයේ
ලැගුම්හලක් තිබුණා නම්!
මන්ද ඔවුන් සැවොම පරදාරික,
ද්‍රෝහි ජන සමූහයකි.
3“ඔවුන් තම දිව දුන්නක් සේ නමා ගන්නේ,
මුසාව විදිනු පිණිස ය;
ඔවුන් දේශයෙහි ජය ගන්නේ, ව්‍යාජත්වයෙනි,
සත්‍යයෙන් නො වේ.
ඔවුහු එක් නපුරකින්, තවත් නපුරකට ඉදිරියට යති.
ඔවුන් මා හඳුනන්නේ නැතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
4“හැම කෙනෙක් ම තම අසල්වැසියාගෙන් පරෙස්සම් වන්න.
කවර සහෝදරයකු වුව විශ්වාසයට නො ගන්න.
මන්ද හැම සහෝදරයකු ම වංචා ම කරන වංචනිකයෙකි.
හැම අසල්වැසියකු ම අපහාස කරමින් එහෙ මෙහෙ යයි.
5හැම කෙනෙක් ම තම අසල්වැසියා රවටයි;
සත්‍ය කතා කරන කෙනෙක් නැත;
ඔවුහු තම දිවට බොරු කීම ඉගැන්වූහ.
පව් කිරීමට ඔවුහු ආයාස දරති.
6ඔබ වාසය කරන්නේ, රැවටිල්ල මධ්‍යයේ ය.
මා හැඳින ගැනීම, ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ, තමන්ගේ රැවටිලිවලිනි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
7එබැවින්, සේනාංකවල ස්වාමින්වහන්සේ කියන්නේ මෙයයි:
“මෙන්න! මම ඔවුන් ශෝධනය කොට, පරීක්ෂා කරමි.
මේ මගේ ජනයා වූ දියණියගේ පාපය නිසා,
මට කළ හැක්කේ වෙන කුමක් ද?
8ඔවුන්ගේ දිව මාරක හීයකි.
එය කතා කරන්නේ රැවටිලිකාරී ව ය.
හැම කෙනෙක් ම තම අසල්වැසියා සමඟ තම මුවින් මිතුරු ලීලාවෙන් කතා කරයි.
එහෙත්, තම හිත ඇතුළෙන් ඔහුට එරෙහිව උගුලක් අටවයි.
9මේ ගැන මා ඔවුන්ට දඬුවම් නො දී ඉන්න දැ?” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
මෙවැනි ජාතියකින්
මා පළිගෙන නො සිටිය යුතු ද?
10කඳු උදෙසා මම හඬමි; වැලපෙමි;
පාළුකර තණ බිම් ගැන විලාපයක් නගමි.
මන්ද කිසිවකුත් ඒ හරහා නො යන ලෙසට
ඒවා නැති නාස්ති ව ඇත.
හරකුන්ගේ තප්පුලෑම ඇසෙන්නේ නැත.
අහස් පක්ෂීන් ද සතා-සීපාවුන් ද යන්නට ගොසිනි.
11“මම යෙරුසලම සුන්බුන් ගොඩක් ද
සිවලුන්ගේ තිප්පොළක් ද කරන්නෙමි.
කිසිවකුත් එහි නො වෙසෙන ලෙසට මම යූදාහි නගර,
ආලාපාළු කර දමන්නෙමි.”
12මෙය වටහා ගැනීමට තරම් ප්‍රඥාවත් මිනිසා කවුරු ද? මෙය ප්‍රකාශ කරන පිණිස ස්වාමින්වහන්සේගේ මුවින් උපදෙස් ලැබ ඇත්තේ කවරකුට ද? කිසිවකුත් ඒ මැදින් නො යන ලෙසට දේශය ජරාවාස කොට, ආලාපාළු කොට, කාන්තාරයක් පරිදි ව ඇත්තේ මන්ද?
13 ස්වාමින්වහන්සේ කතා කොට, “එසේ ව ඇත්තේ මා ඔවුන් ඉදිරියේ තැබූ මගේ ව්‍යවස්ථාව ඔවුන් අත් හළ නිසා ය. ඔවුන් මගේ කටහඬට කීකරු වුණේවත්, ඒ අනුව ගමන් කළේත් නැති නිසා ය. 14ඒ වෙනුවට ඔවුහු තම හදවත්හි මුරණ්ඩුකම අනුව හැසිරුණේ, තම පියවරුන් තමන්ට කියා දුන් ලෙස බාල් දේවතාවන් පසු පස ගියෝ ය.” 15එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මෙන්න! මේ ජනයාට මම තිත්ත දෑ කවන්නෙමි; විස වතුර බොන්නට දෙන්නෙමි. 16ඔවුන්වත්, ඔවුන්ගේ පියවරුන්වත් නො දත් ජාතීන් අතරට මම ඔවුන් විසුරුවා හරින්නෙමි. මා ඔවුන් විනාශ කර දමන තෙක් ම ඔවුන් පසු පස අසිපත යවන්නෙමි.”
17සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“දැන් කල්පනාවට ගෙන, කුලියට හඬන ස්ත්‍රීන් කැඳවා යවන්න.
ඔවුන්ගෙන් ඉතාම දක්ෂ ස්ත්‍රීන් කැඳවා යවන්න.
18ඔවුන් ඉක්මනින් ආවා වේ.
අපගේ ඇස්වලින් කඳුළු උතුරා යන තුරු,
අපගේ ඇසි පිය තුළින් වතුර ගලා යන තුරු,
ඔවුන් අප ගැන විලාප නැගුවා වේ.
19වැලපීමේ හඬ සියොන වෙතින් ඇසේ:
‘අහෝ අප විනාශ වී ඇති සැටි!
අපගේ ලජ්ජාව කොයි තරම් ද!
අපගේ ගෙවල් ඔවුන් සුන්බුන් කර ඇති නිසා,
අපි දේශය අතැර දැමුවෙමු.’ ”
20එම්බා කාන්තාවනි, ස්වාමින්වහන්සේගේ වචනය අසන්න.
උන්වහන්සේගේ මුවෙහි වචන ඔබේ සවන් වැකේවා!
විලාප නගන හැටි ඔබේ දූවරුනට උගන්වන්න.
අසල්වැසි එකිනෙකාට ශෝක ගීයක් උගන්වන්න.
21මන්ද මරණය අපේ ජනේල තුළින් නැග අවුත්,
අපේ මන්දිර තුළට ඇතුළු ව,
වීදිවලින් දරුවන් ද
පිට්ටනිවලින් තරුණයින් ද සිඳ දමනු ලබයි.
22කතා කරන්න. “ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක:
“ ‘මිනිස් මළ කඳන් එළිමහනෙහි කුණු-කසල සේ,
අස්වනු නෙළන්නන්ට මග හැරුණු කරල් සේ
ඔහේ වැටී තිබෙනු ඇත.
කිසිවකුත් ඒවා එකතු කර නො ගනී.’ ”
23 ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
“ප්‍රඥාවත් මිනිසා තම ප්‍රඥාව ගැන පාරට්ටු කර නො ගනීවා.
බලවත් මිනිසා තම බලවත්කම ගැන පාරට්ටු කර නො ගනීවා.
ධනවත් මිනිසා තම ධනය ගැන පාරට්ටු කර නො ගනීවා.
24එහෙත් පුරසාරම් කියන්නා, පුරසාරම් කිව යුත්තේ
මිහි පිට නොමියෙන ප්‍රේමයත්, යුක්තියත්,
ධර්මිෂ්ඨකමත් භාවිත කරන ස්වාමින්වහන්සේ මා වග වටහා ගෙන,
මා හැඳින ගැනීම ගැන ය.
මන්ද ඒ දේවල් ගැන මම ප්‍රමෝද වන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
25ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ‘මෙන්න! මාංසයෙහි පමණක් චර්මඡේදිත සියල්ලන්ට මා දඬුවම් දෙන දවස් පැමිණෙන්නේ ය.’ 26ඊජිප්තු, යූදා හා ඒදොම් ද අම්මොන්වරුන් හා මෝවබ් ද පාළුකරවල වාසය කරන තම කෙස් අග කපා ගන්න සැවොම ද යන මේ සියලු ජාතීහු සැබවින් ම චර්මඡේද නො වූවෝ ය. තවද ඉශ්‍රායෙල් වංශික සියල්ලන් ද හදවතින් චර්මඡේදිත නැත.”

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 9: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න