ඉන්පසු සෙදෙකියා රජු, යෙරමියා දිවැසිවරයා වෙත පණිවුඩ යවා, ස්වාමින්වහන්සේගේ මාලිගයේ තුන් වන දොරටුව වෙත ඔහු ගෙන්වා ගත්තේ ය. රජු යෙරමියා අමතමින්, “මම ඔබෙන් යමක් අසන්නෙමි. මගෙන් කිසිවක් සඟවන්න එපා” යි පැවසී ය.
එවිට යෙරමියා, සෙදෙකියාට පිළිතුරු දෙමින්, “මම ඔබට උත්තර දුන්නොත් ඔබ මා මරන්නේ නැති ද? ඇරත්, මා ඔබට උපදෙස් දුන්නත් ඔබ මට සවන් දෙන්නේ නැතැ” යි කීවේ ය.
එහෙත් සෙදෙකියා රජු යෙරමියාට රහසේ දිවුරුම් දෙමින්, “අපට ජීවන හුස්ම දෙන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා ඔබ මරන්නේවත්, ඔබේ ජීවිතය නසන්නට සොයන්නවුන් අතට පාවා දෙන්නේවත් නැතැ” යි කීවේ ය.
එවිට යෙරමියා, සෙදෙකියා අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි: ‘බබිලෝනි රජුගේ නිලධාරීන්ට ඔබ බාර වුණොත්, ඔබේ ජීවිතය ගැල වේ. මේ පුරවරය ද ගින්නෙන් නො දැවේ. ඔබත්, ඔබේ ගෘහවාසීනුත් තවදුරටත් ජීවත් වනු ඇත. එහෙත්, ඔබ බබිලෝනි රජුගේ නිලධාරීන්ට බාර නො වුවහොත්, මෙම පුරවරය කල්දිවරුන්ගේ අත්වලට හසුකර දෙනු ලැබේ. ඔවුන් මෙය ගිනි ලා, දවා දමනු ඇත. ඔවුන්ගේ අත්වලින් ඔබත් නො ගැලවෙනු ඇතැ’ ” යි පැවසී ය.
සෙදෙකියා රජු යෙරමියා අමතමින්, “කල්දිවරුන් වෙත ගොස් සිටින යුදෙව්වරුන්ට මා බයයි. කල්දිවරුන් විසින් ඔවුන් අතට මා පාවා දිය හැකියි. එවිට ඔවුන් මට නපුරක් කරනු ඇතැ” යි පැවසී ය.
යෙරමියා පිළිතුරු දෙමින්, “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන දේ කිරීම මගින් ස්වාමින්වහන්සේට කීකරු වන්න. එවිට ඔබට සෙත සැලසී, ඔබගේ ජීවිතය ද ගැල වේ. එහෙත් ඔබ බාරවීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ස්වාමින්වහන්සේ මට පෙන්වා දී ඇත්තේ මෙසේයි: ඔන්න, යූදාහි රජුගේ මාලිගයේ රැඳී සිටින කාන්තාවන් සියලු දෙනා බබිලෝනි රජුගේ නිලධාරීන් ඉදිරියට ගෙනෙනු ඇත. එම කාන්තාවන් ඔබ අමතමින්,
“ ‘ඔබගේ විශ්වාසී මිත්‍රයෝ
ඔබ නොමග යවමින්, ඔබෙන් ජය ගන්නෝ ය.
ඔබගේ පාද මඩෙහි එරී ඇත.
ඔබේ මිතුරන් ඔබ තනිකර ගොසිනි’ යි කියනු ඇත.
“ඔබගේ භාර්යාවන් හා ඔබගේ දරුවන් සැවොම කල්දිවරුන් වෙත පිටතට ගෙනෙනු ලබනු ඇත. ඔවුන් අතින් ඔබ ගැලවෙන්නේ නැත. බබිලෝනි රජු ඔබ අල්ලා ගනු ඇත. මේ පුරවරය ද ගින්නෙන් දවා දමනු ඇතැ” යි පැවසී ය.
එවිට යෙරමියා ඇමතූ සෙදෙකියා, “මේ සාකච්ඡාව ගැන කිසිවකුටත් දැනගන්නට ඉඩ තියන්න එපා; නැතහොත් ඔබට මරණයයි. මා ඔබට කතා කළ වග නිලධාරීන් අසා, ඔබ වෙත පැමිණ, ඔබට අඬගසා, ‘රජ්ජුරුවන්ට ඔබ කීවේ මොනවා ද, රජ්ජුරුවෝ ඔබට කීවේ මොනවා ද යන්න අපට කියන්න. අපෙන් සඟවන්න එපා; නැතහොත් අපි නුඹ මරා දමන්නෙමු’ යි කිවහොත්, ඔවුන්ට කතා කොට, ‘යොනාතාන්ගේ ගෙදරදී මා නො නස්නා පිණිස, යළි මා එහි නො යවන ලෙස මම රජ්ජුරුවන්ට කන්නලව් කළෙමි’ යි කිව යුතු යැ” යි කීවේ ය.
සියලු නිලධාරීහු පැමිණ, යෙරමියාගෙන් ප්‍රශ්න කළහ. ඔවුනට කියන ලෙස රජු ඔහුට අණ කොට තිබූ හැම දෙයක් ම ඔහු ඔවුනට පැවසී ය. ඉන් එහාට ඔවුන් කිසිවක් කීවේ නැත. මන්ද එම සාකච්ඡාව කිසිවකුටත් අසන්නට ලැබුණේ නැත.
යෙරුසලම අල්ලා ගනු ලැබූ දවස දක්වා යෙරමියා ආරක්ෂක මළුවේ රැඳී සිටියේ ය.