යෙරමියා 37:11-21

යෙරමියා 37:11-21 SCV

පාරාවෝගේ හමුදාව ළඟා වෙද්දී, කල්දීය හමුදාව යෙරුසලමෙන් බැහැර ව ගිය පසු, යෙරමියා, බෙන්යමින් පළාතේ ජනයා අතරේ දේපොළවල තම කොටස ලබන පිණිස, එහි යන්නට යෙරුසලමින් පිටත් විය. එහෙත් ඔහු බෙන්යමින් දොරටුව වෙත ළඟා වූ කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් ඉරීයා නැමති ආරක්ෂක සෙන්පතියා ඔහු අත්අඩංගුවට ගෙන, “කල්දිවරුන්ට එකතු වීමට නුඹ පලා යනවා දැ!” යි ඇසී ය. “එය බොරුවක්! කල්දිවරුන්ට එකතු වීමට මා පලා යනවා නො වේ යැ” යි යෙරමියා පැවසූ නමුදු ඉරීයා ඔහුට ඇහුම්කන් දුන්නේ නැත. ඔහු යෙරමියා අත්අඩංගුවට ගෙන, නිලධාරීන් වෙත පැමිණ වී ය. නිලධාරීහු, යෙරමියා ගැන කෝප වූවාහු, ඔහුට තලා, ඔවුන් විසින් සිර ගෙයක් බවට පත් කොට තිබූ යොනාතාන් ලේකම් තැනගේ නිවසේ ඔහු සිර අඩස්සි කළාහු ය. යෙරමියා දඟ ගෙයි ඇඳිරි බිම් මැදිරියක දමන ලදුව, දිගු කලක් ම එහි සිටියේ ය. පසුව සෙදෙකියා රජු පණිවුඩ යවා, රජ මැදුරට ඔහු ගෙන්වා, “ස්වාමින්වහන්සේගෙන් පණිවුඩයක් වේ දැ?” යි රහසිගත ව විමසී ය. යෙරමියා පිළිතුරු දෙමින්, “එසේ යැ” යි කීවේ ය. තවද ඔහු, “බබිලෝනි රජුගේ අතට ඔබ හසුකර දෙනු ලැබේ යැ” යි පැවසී ය. යෙරමියා තවදුරටත් සෙදෙකියා රජු අමතමින්, “ඔබට හෝ ඔබේ නිලධාරීන්ට හෝ මේ ජනයාට හෝ විරුද්ධ ව මා කුමන අපරාධයක් කළාට ද නුඹලා මා සිර ගෙයි දැම්මේ? ‘බබිලෝනි රජු ඔබට හෝ මේ දේශයට එරෙහිව එන්නේ නැතැ’ යි ඔබට දිවැසි වැකි පැවසූ ඔබේ දිවැසිවරුන් කෝ? අහෝ මගේ ස්වාමියා වූ රජතුමනි, කරුණාකර මට සවන් දෙන්න. මගේ කන්නලව්ව ඔබ ඉදිරියේ තබන්නට අවසරයි. යොනාතාන් ලේකම් තැනගේ ගෙදරට නැවතත් මා නො යැවුව මැනවි. ගියොත් එහිදී මා මැරී යාවි” යි කීවේ ය. එවිට, සෙදෙකියා රජු, යෙරමියා සම්බන්ධ ව නියමයක් පනවමින්, රජගෙදර අරක්ෂක මළුවෙහි ඔහු රඳවා තබන ලෙසටත්, පුරවරයේ රොටි සියල්ල නිම වී යන තෙක් රොටි පුලුස්සන්නන්ගේ වීදියෙන් දිනපතා ඔහුට රොටිය බැගින් දීමටත් සැලසී ය. එබැවින් යෙරමියා ආරක්ෂක මළුවෙහි රැඳී සිටියේ ය.