යෙරමියා 32

32
කෙතක් මිලට ගැනීම
1යූදාහි රජ වූ සෙදෙකියාගේ දස වන වසරේදී ස්වාමින්වහන්සේගෙන් යෙරමියා වෙත පැමිණි වචනයයි. ඒ නෙබුකද්නෙසර්ගේ දහඅට වන අවුරුද්ද විය. 2ඒ වන විට බබිලෝනි රජුගේ හමුදාව යෙරුසලම වටලමින් සිටියහ. දිවැසිවර යෙරමියා සිටියේ, යූදා රාජ මාලිගයේ ආරක්ෂකයින්ගේ මළුවෙහි සිරගත කරනු ලැබ ය.
3මන්ද යූදාහි රජු වූ සෙදෙකියා ඔහු සිරගත කොට තිබුණේ: “නුඹ දිවැසි වැකියෙන් මෙසේ කියන්නේ මන්ද? යයි අසමිනි. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මෙන්න, මේ පුරවරය බබිලෝනි රජු අතට දීමට මම සූදානමින් සිටිමි. ඔහු එය අල්ලා ගනු ඇත. 4යූදාහි රජු වූ සෙදෙකියා කල්දිවරුන්ගේ අතින් ගැලවෙන්නේ නැත. ඔහු සැබවින් ම බබිලෝනි රජු අතට බාර දෙනු ලැබ, ඇස්වලින් ඔහු දෙස බලමින්, ඔහු හා මුහුණට මුහුණ ලා කතා කරනු ඇත. 5ඔහු බබිලෝනියට සෙදෙකියා ගෙන යනු ඇත. මා විසින් ඔහු ගැන කටයුතු කෙරෙන තුරු, ඔහු එහි නැවතී සිටිනු ඇත කියා ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. නුඹ කල්දිවරුන්ට එරෙහිව සටන් කළත්, ජය ගත්තේ නැත.’ ”
6එවිට යෙරමියා, “ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, 7‘ඔන්න! ඔබේ බාප්පා වන ෂල්ලූම්ගේ පුත් හනමේල් ඔබ වෙත අවුත්, “අනාතොත්හි මගේ ඉඩම මිලයට ගන්න. එය මිලයට ගැනීමේත්, මුදාගැනීමේත් අයිතිය ඇත්තේ ඔබට” ය කියනු ඇතැ’ යි පැවසී ය.
8“එවිට, ස්වාමින්වහන්සේ මට පැවසූ ලෙස, මගේ ඥාති සහෝදර හනමේල් රජ මැදුරු ආරක්ෂක මළුවට මා වෙත අවුත්, ‘බෙන්යමින් පළාතේ අනාතොත්හි මගේ ඉඩම මිලයට ගන්න. එය අත්කර ගැනීමේත්, එය මුදාගැනීමේත් අයිතිය ඔබ සතු ය; ඔබ ම එය මිලයට ගන්නැ’ යි පැවසී ය.
“එය ස්වාමින්වහන්සේගේ වචනය බැව් එවිට මම දැන ගතිමි. 9එබැවින්, මගේ ඥාති සහෝදර හනමේල් වෙතින්, අනාතොත්හි එම ඉඩම මිලට ගත් මම, රිදී ෂෙකෙල් දහහතක් ඔහුට කිරා දුන්නෙමි. 10මම ඔප්පු අත්සන් කොට, මුද්‍රා තබා, ඊට සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ද ගෙන, තරාදියෙන් රිදී කිරා දුනිමි. 11මම, මිලයට ගැනුම් ඔප්පුවෙහි නීති හා කොන්දේසි සඳහන් මුද්‍රා තබන ලද පිටපත හා මුද්‍රා රහිත විවෘත පිටපත ගෙන, 12මගේ ඥාති සහෝදර හනමේල් ද ඔප්පුව අත්සන් තැබූ සාක්ෂිකරුවන් ද රජ මැදුරු ආරක්ෂක මළුවේ හිඳ සිටි සියලු යුදෙව්වරුන් ද ඉදිරිපිටදී එම ඔප්පුව මාසේයාගේ පුත්, නේරියාගේ පුත් බාරුක්ට බාර දුනිමි.
13“ඔවුන් ඉදිරිපිට මම බාරුක්ට මෙසේ උපදෙස් දුනිමි: 14‘ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මෙම, මිලයට ගැනුම් ඔප්පුවේ මුද්‍රා තබන ලද පිටපත හා මුද්‍රා රහිත පිටපත ගෙන, ඒවා දිගු කලක් පවතින පිණිස, මැටි බඳුනක බහා, තබන්න. 15ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ගෙවල් ද කෙත් වතු ද මිදි වතු ද මේ දේශයෙහි යළිත් මිලයට ගනු ලැබේ.’
16“මිලයට ගැනුම් ඔප්පුව, නේරියාගේ පුත් බාරුක්ට දුන් මම, ඉන්පසු ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්නට වන්නෙමි:
17“අහෝ, පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබගේ මහත් බලයෙන් හා දිගු කළ බාහුවෙන්, ඔබ අහස් ද පොළොව ද මැවූ සේක. ඔබවහන්සේට අසීරු වූ කිසි දෙයක් නැත. 18දහස් ගණන් අයට ඔබවහන්සේ නොමියෙන ප්‍රේමය පානා සේක. එහෙත් පියවරුන්ගේ පාපයේ දඬුවම, ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ දරුවන්ගේ හිස මත පතිත කරවන සේක. සේනාංකවල ස්වාමින්වහන්සේ යන නාමය ඇති උත්තම වූත්, බලවන්ත වූත් දෙවියන්වහන්ස, 19ඔබගේ උපදේශ උතුම් ය. ඔබගේ ක්‍රියාවන් බලවත් ය. මානව දරුවන්ගේ සියලු මාර්ග වෙත ඔබගේ දෑස් විවර ය. එකිනෙකාගේ මාර්ග හා ක්‍රියාවල පල අනුව හැමට ම ඔබ ප්‍රතිවිපාක දෙන සේක. 20ඔබවහන්සේ ඊජිප්තු දේශයේදී හාස්කම් ලකුණු ද පුදුම ද සිදු කළ සේක්, ඉශ්‍රායෙල්හි මෙන් ම මුළු මානව වර්ගයා අතරේ ද අද දවසේ ඇති පරිදි ඔබ, ඔබට ම නාමයක් උපදවා ගත් සේක. 21ඔබවහන්සේ, ලකුණු හා පුදුම සහිත ව බලගතු හස්තයකින් ද දිගු කළ බාහුවකින් ද මහත් භීතියකින් ද යුතු ව ඔබගේ ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා සේක. 22තවද ඔවුන්ගේ පියවරුන්ට දීමට ඔබවහන්සේ දිවුළ පරිදි කිරි හා පැණි ගලා යන දේශයක් වූ මේ දේශය ඔබ ඔවුන්ට දුන් සේක. 23ඔවුහු පැමිණ, දේශය අත්කර ගත්හ. එහෙත් ඔවුන් ඔබේ කටහඬට කීකරු වූයේවත්, ඔබේ ව්‍යවස්ථාව පිළිපැද්දේවත් නැත. ඔබ, ඔවුනට අණ කළ කිසිවක් ඔවුන් කළේ නැත. එබැවින් ඔබවහන්සේ මේ සියලු විපත් ඔවුන් පිටට පැමිණ වූ සේක.
24“පුරවරය අල්ලා ගැනීමට වැටලුම් ගොඩැලි ගොඩ නගා ඇති හැටි පෙනේ ද! කඩුවත්, සාගතය හා වසංගතයත් නිසා පුරවරය ඊට පහර දෙන කල්දිවරුන් අතට හසුකර දෙනු ලබනු ඇත. මෙන්න දැන් ඔබ කී දෑ සිදු වී ඇත. එය ඔබට පෙනේ. 25පුරවරය කල්දිවරුන් අතට පත් කරනු ලැබ තිබුණ ද, අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබ මා අමතමින්, ‘ඉඩම මුදල් ගෙවා මිල දී ගෙන, ගනුදෙනුව සම්බන්ධ සාක්ෂිකරුවන් සාක්ෂියට ගන්නැ’ යි පවසන සේක.”
26ඉන්පසු ස්වාමින්වහන්සේගේ වචනය යෙරමියා වෙත පැමිණියේ ය. 27“බලනු! මාංශමය වූ සියල්ලන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මට අසීරු වූ යම් දෙයක් ඇත් ද? 28එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක; ඔන්න, කල්දිවරුන් අතට ද බබිලෝනි රජු වූ නෙබුකද්නෙසර් අතට ද මම මේ පුරවරය හසුකර දෙන්නෙමි. ඔහු එය අල්ලා ගනු ඇත. 29මෙම පුරවරයට පහර දෙමින් සිටින කල්දිවරුන් ඇතුළට වැද, මෙය ගිනි ලා දවා දමනු ඇත. තමන්ගේ ගෙපියසි මත බාල් දෙවියාට සුවඳ දුම් දැවීමෙන් ද අනෙකුත් දෙවි දේවතාවුනට පාන පූජා වැගිරවීමෙන් ද මා කෝප ගැන් වූ මිනිසුන්ගේ නිවෙස් ද සමඟින් ඔවුන් එය දවා දමනු ඇත.
30“ඉශ්‍රායෙල් ජනයා හා යූදා ජනයා ඔවුන්ගේ යෞවනයේ පටන් මගේ ඇස් හමුවේ කළේ දුෂ්ටකම් පමණි. ඇත්තෙන් ම ඉශ්‍රායෙල් ජනයා කර ඇත්තේ තමන්ගේ අත්වල වැඩවලින් මා කුපිත කරවීම පමණියි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. 31මගේ ඇස් හමුවෙන් මෙම පුරවරය පහ කර දැමිය යුතු වන පරිදි එය ගොඩ නගන ලද දවසේ පටන් අද දවස දක්වාත්, මෙම පුරවරය විසින් මගේ කෝපයත්, මගේ උදහසත් ඒ සා අවුළුවනු ලැබී ය. 32ඉශ්‍රායෙල් ජනයා ද යූදා ජනයා ද ඔවුන් විසින් කරන ලද දුෂ්ටකම් මගින්, එසේය-ඔවුහු ද ඔවුන්ගේ රජුන් හා නිලධාරීහු ද ඔවුන්ගේ පූජකයින් හා දිවැසිවරුන් ද යූදා ජනයා හා යෙරුසලම් වාසීහු ද මා කෝප කළහ. 33ඔවුහු මට පෑවේ තම මුහුණු නො ව, තම පිටුපස ය. යළි යළිත් මා ඔවුන්ට ගුරුහරුකම් දුන් නමුදු, ඔවුන් සවන් දුන්නේ නැත. හික්මවීම පිළිගත්තේ නැත. 34ඔවුහු තම පිළිකුල්කම් මගේ නාමය දරන ගෘහයේ පිහිටුවා, එය අපවිත්‍ර කළහ. 35ඔවුහු බාල් දෙවියාට බෙන්-හින්නොම් මිටියාවතේ උස් පුදසුන් ගොඩ නැගූහ. එසේ කළේ තම පුත්‍රයින් මොලෙක් දේවතාවාට ගින්නෙන් යාග කරන පිණිස ය. යූදා පාපයට වට්ටන එබඳු පිළිකුල් කටයුත්තක් කරන ලෙස කිසි කලෙක මා ඔවුන්ට අණ කළේ නැත. එබන්දක් මගේ සිතට පිවිසුණේ ද නැත.
36“එබැවින් දැන්, ‘කඩුවෙන් ද සාගතයෙන් හා වසංගතයෙන් ද මෙය බබිලෝනියේ රජු අතට දෙනු ලැබේ ය’ කියා නුඹලා මේ පුරවරය ගැන කියන නමුදු ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: 37මෙන්න, මගේ කෝපයෙන් හා මගේ උදහසින් දැඩි තරහින් යුක්ත ව මා විසින් ඔවුන් පලවා හළ සියලු දේශ වෙතින් මම ඔවුන් එකතු කරන්නෙමි. මම මේ ස්ථානයට ඔවුන් ආපසු ගෙනවුත්, සුරැකි ව වසන්නට ඔවුන්ට මං සලසමි. 38ඔවුහු මගේ ජනතාව වන්නෝ ය. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. 39මම ඔවුන්ට එක හදවතක් හා එක ක්‍රියා මාර්ගයක් දෙන්නෙමි. එසේ කරන්නේ, ඔවුන්ගේ ම යහපතත්, ඔවුන්ට පසුව, ඔවුන්ගේ දරුවන්ගේ යහපතත් උදෙසා, ඔවුන් මට භය පක්ෂපාතී ව සිටින පිණිස ය. 40මම ඔවුන් සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි. ඔවුනට සුබ සෙත කිරීමෙහි නො නවතින්නෙමි. කිසි දින ඔවුන් මා වෙතින් ඉවත හැරී නො යන පිණිස, මට භය පක්ෂපාතී හදවතක් ඔවුන් තුළ තබන්නෙමි. 41ඔවුනට සුබ සෙත කිරීමෙන් මම සන්තෝෂ වන්නෙමි. මගේ මුළු හදවතින් ම හා මගේ මුළු ජීවයෙන් ම මම මේ දේශයෙහි නිසැක ව ම ඔවුන් ස්ථාපන කර දෙන්නෙමි.
42“මන්ද ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මෙම ජනතාව පිටට මම මේ සියලු මහා විපත්ති ගෙන ආ පරිදි ම, ඔවුනට මා පොරොන්දු වූ සියලු සමෘද්ධියත් මම ඔවුනට ගෙන දෙන්නෙමි. 43‘බබිලෝනිවරුන් අතට හසුකර දෙන ලද මෙහි මිනිසුන් හෝ සතුන් හෝ නොමැති පාළු කාන්තාරයකැ’ යි ඔබ විසින් කියන ලද මේ දේශයෙහි කෙත්වත්, යළිත් වරක් මිලයට ගනු ලැබේ. 44බෙන්යමින් පළාතේ ද යෙරුසලම අවට ගම්මානවල ද යූදාහි නගරවල ද කඳු රටෙහි නගරවල ද බටහිර කඳු බෑවුමෙහි ද නෙගෙබ්හි#32:44 නෙගෙබ්හි හෙවත් දකුණු දිශාව ද කෙත් වතු මුදලින් මිලයට ගෙන, ඔප්පු අත්සන් කර, මුද්‍රා තබා, සාක්ෂිකරුවන් ද සාක්ෂියට ගනු ලැබේ. මන්ද මම ඔවුන්ගේ භාග්‍යය යළි ස්ථාපිත කරන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

දැනට තෝරාගෙන ඇත:

යෙරමියා 32: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න