යොෂීයා රජුගේ දවස්හි දී ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “ඈ කළ දෑ ඔබ දුටුවා ද? අර අවිශ්වාසී එකිය, ඉශ්‍රායෙල්; ඈ හැම උස් කන්දක් මතට ද අතු විහිදුණු හැම ගහක් යටට ද ගොස්, එහිදී වේශ්‍යාකම් කළ හැටි. මා සිතුවේ ඇය ඒ සියල්ල කළ පසුව වුව ද, යළි මා වෙත හැරී එතැයි කියා ය. එහෙත් ඇය ආවේ නැත. ඇගේ ද්‍රෝහි සහෝදරිය, යූදා එය දුටුවා ය. ඇගේ සියලු පරදාරික අමනකම් නිසා ඒ අවිශ්වාසී එකියට, ඉශ්‍රායෙල්ට දික්කසාද තීන්දු ප්‍රකාශයක් දී, මා ඇය ඉවත යැවූ හැටි ඈ දුටුවා ය. එසේ වුව ද ඇගේ ද්‍රෝහි සහෝදරිය, යූදා භයක් දැක්වූයේ නැත. ඇය ද පිටත් ව ගොස්, වේශ්‍යාකම් කළා ය. තම දුරාචාර, ඒ සා සුළු කොට තැකූ ඈ දේශය දූෂ්‍ය කරමින්, ගල් හා ගස් සමඟ අනාචාරකම් කළා ය. මේ සියල්ල එසේ තිබියදීත්, ඇගේ ද්‍රෝහි සහෝදරිය, යූදා මා වෙත හැරී ආවේ ඇගේ මුළු හදින් නො ව, බොරු මවා පෑමෙන් යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “අවිශ්වාසී ඉශ්‍රායෙල්, ඒ ද්‍රෝහි යූදාට වඩා ධර්මිෂ්ඨ වග ඈ පෙන්නුම් කළා ය. යන්න; උතුරු දෙසට මෙම වචන ප්‍රකාශ කරමින් මෙසේ පවසන්නැයි පැවසූ සේක.
“ ‘අවිශ්වාසී ඉශ්‍රායෙල්, ආපසු එන්නැ’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
‘නුඹ දෙස මම කෝපයෙන් නො බලමි.
මන්ද මම දයා කරුණාභරිත වෙමි’ යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
මම සදහට ම කෝප නො වෙමි.
ඔබේ වරද පිළිගන්න; එපමණක් කරන්න.
ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගැසූ ඔබ,
අතු විහිදුණු හැම ගහක් යට
විදෙස් දෙවිවරුනට ඔබේ සතුට බෙදා දුන් ඔබ,
මගේ වචනයට කීකරු වුණේ නැතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“ආපසු එන්න! පසුබට ව යන පුත්‍රයිනි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මන්ද මම ඔබගේ ස්වාමියාණන් වෙමි. නගරයකින් එක් කෙනකු ද වංශයකින් දෙදෙනකු ද යන වශයෙන් මම නුඹලා තෝරා ගෙන, සියොන වෙත ගෙනෙන්නෙමි. ඉන්පසු දැනගැන්මෙන් ද සිහි-නුවණින් ද යුතු ව ඔබට මග පෙන්වන, මගේ සිතට එකඟ එඬේරුන් මම ඔබට දෙන්නෙමි. දේශයේ ඔබ වර්ධන වී ගණනින් වැඩි වූ කල එදවස්හි,” ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක්, “ ‘ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව යැ’ යි මිනිසුන් තවත් කියන්නේ නැත. එය ඔවුන්ගේ සිතට ඇතුළු වන්නේවත්, සිහි කරනු ලබන්නේවත් නැත. එය නැති බව සිහිවන්නේවත්, යළි එය සාදන්නේවත් නැත. එකල යෙරුසලම ස්වාමින්වහන්සේගේ සිංහාසනය යැයි අමතනු ලබන්නේ ය. සියලු ජාතීන් යෙරුසලමෙහි ස්වාමින්වහන්සේගේ නාමයට එහි එක් රැස්වනු ඇත. ඔවුන් තවදුරටත් තම දුෂ්ට හදවත්හි මුරණ්ඩුකම අනුව නො යනු ඇත. එදවස්හි යූදා වංශය, ඉශ්‍රායෙල් වංශය හා එකතු වී, ඔබගේ පියවරුන්ට උරුමයක් කොට මවිසින් දෙන ලද දේශයට, උතුරු දේශයක සිට එක් ව එනු ඇත.”
“එවිට මම ම සිතුවෙමි.
“ ‘මගේ පුත්‍රයන් අතරේ මම ඔබ සිටුවන්නේ කෙසේ ද,
සියලු ජාතීන්ගේ ඉතාම අලංකාර උරුමය වන
ප්‍රිය මනාප දේශයක් ඔබට දෙන්නේ කෙසේ ද’
තවද මට ඔබ ‘පියාණෙනි’ යි අමතනු ඇතැයි ද
මා අනුගමන කිරීමෙන් ඉවත හැරෙනු නැතැයි ද මම සිතීමි.
එහෙත් ද්‍රෝහි ස්ත්‍රියක තම සැමියා අත්හැර යන්නා සේ,
එම්බා ඉශ්‍රායෙල් වංශය, එලෙස නුඹත් මට ද්‍රෝහි වී ඇතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
මුඩු කඳු මතින් කටහඬක් ඇසේ.
ඒ, ඉශ්‍රායෙල් ජනයාගේ වැලපීමේ හා කන්නලව්වේ හඬ ය.
මන්ද තමන්ගේ මාර්ගය, ඔවුන් අයුක්තට හරවා ගත් බැවිනි;
තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අමතක කර දැමූ බැවිනි.
“ආපසු එන්න! ඇදහිලි විරහිත පුත්‍රයිනි;
නුඹලාගේ පසුබටවීම මම සුව කරන්නෙමි.”
“ඇත්තෙන් ම! අපි ඔබ වෙත එන්නෙමු;
මන්ද ඔබවහන්සේ ස්වාමින්වහන්සේ ය. අපේ දෙවියන්වහන්සේ ය.
සැබවින් ම හෙල් මත මායාවකි;
කඳු මත කලබැගෑනියකි.
ඉශ්‍රායෙල්ගේ ගැලවීම
සැබවින් ම අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ ය.
එහෙත්, අපගේ බාල කාලයේ පටන් නින්දිතයා
අපගේ පියවරුන්ගේ වෙහෙසේ පල වන
ඔවුන්ගේ එළු බැටළු රංචු හා ගව රංචු ද
ඔවුන්ගේ දූ පුතුන් ද කා දමා ඇත.
අපගේ නින්දාව දරා, අපි බිම වැතිරෙමු.
අපගේ ලජ්ජාවෙන් අප වැසී යේවා.
මන්ද අපගේ බාල කාලයේ පටන්
අපත්, අපගේ පියවරුනුත්
අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව පව් කර ඇත්තෙමු.
අපි අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට කීකරු නො වුණෙමු.”