යෙරමියා 20:7-18
යෙරමියා 20:7-18 SCV
අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා මුළා කළ සේක. මම මුළා කරනු ලැබීමි. ඔබ, මා අභිබවා ජය ගත් සේක. දවස පුරා මම සමච්චලයට ලක් ව සිටිමි; සැවොම මට කවටකම් කරති. කතා කරන හැම විටෙක ම මා කරන්නේ, සැහැසිකමත්, විනාශයත් ප්‍රකාශ කරමින්, මොර ගැසීමයි. එබැවින් ස්වාමින්වහන්සේගේ වචනය, දවස මුළුල්ලේ ම මට අපහාසයත්, අවලාදයත් ගෙනැවිත් තිබේ. “මම උන්වහන්සේ ගැන සඳහන් නො කරමි; උන්වහන්සේගේ නාමයෙන් කතා නො කරමි” යි කීවොත් උන්වහන්සේගේ වචන මගේ හදෙහි ගින්නක් මෙන්– මගේ ඇටකටු තුළ වසා තැබූ ගින්නක් මෙන් වෙයි. එය රඳවා තබා ගැනීම මට වෙහෙසකි; මට එය කරන්නට බැරි ය. බොහෝ දෙනකු මෙසේ කොඳුරනු මට ඇසේ, “හැම පැත්තේ ම භීතිය ය! පැමිණිලි කරමු ඔහු ගැන. අපි ඔහු ගැන පැමිණිලි කරමු.” මගේ මිතුරන් සැවොම මගේ ඇද වැටීම බලා හිඳිමින්, “ඇතැම් විට ඔහු රැවටෙනු ඇත; එවිට අපි ඔහු පරදා ජය ගෙන, ඔහුගෙන් පළිය ගනිමු” යි කියති. එහෙත් බිහිසුණු රණවිරුවකු සේ, ස්වාමින්වහන්සේ මා සමඟ වන සේක. එබැවින් මට පීඩාකරන්නෝ පැකිළෙන්නෝ ය; ඔවුන් ජය ලබන්නේ නැත. ඔවුන් අසමත් වනු ඇත. සදාතන නින්දාවට පැමිණෙනු ඇත. ඔවුන්ගේ අවනම්බුව කිසි දිනෙක අමතක ව නො යේ. අහෝ සේනාංකවල ස්වාමින්වහන්ස, ධර්මිෂ්ඨයින් පරීක්ෂා කරන, හදත්, මනසත් සෝදිසි කරන ඔබවහන්සේ ඔවුන්ගෙන් පළිගනු මට දක්නට ලැබේවා. මන්ද මගේ ප්‍රශ්නය මම ඔබට බාර කර ඇත්තෙමි. ස්වාමින්වහන්සේට ගී ගයන්න! ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න! දුෂ්ටයින්ගේ අතින් උන්වහන්සේ දුප්පතුන්ගේ ජීවිත මුදන සේක. මා උපන් දවසට ශාප වේවා! මගේ මව මා බිහි කළ දවසට සෙත් නො වේවා! මගේ පියා මහත් ප්‍රමෝදයට පත් කරමින්, “ඔබට පුතකු උපන්නේ ය” යන පුවත සැල කළ මිනිසාට ශාප වේවා! ඒ මිනිසා, ස්වාමින්වහන්සේ විසින් අනුකම්පාවෙන් තොර ව බිඳ හෙළූ නගර මෙන් වේවා! උදෑසන විලාප හඬ ද මද්දහනේදී යුද්ධ ඝෝෂාව ද ඔහුට ඇසේවා. මන්ද මගේ මවගේ කුසය මගේ සොහොන වන පරිදි, සදාතනික ව ඇය ගැබ්බර ව සිටින පරිදි, මවු කුස තුළදී මා නො මරන ලද නිසා ය. කරදර දුක් දකින පිණිස මගේ දවස් නින්දාවෙන් කෙළවර කරන පිණිස, මා කුමට මවු කුසෙන් බිහිවුණා ද?

