යෙරමියා 2:11-20

යෙරමියා 2:11-20 SCV

ඇත්තෙන් ම ඔවුන් දෙවිවරුන් නො වූවත් යම් ජාතියක් තම දෙවියන් මාරු කළෝ ද? එහෙත් මගේ ජනයා තම මහිමයාණන් බොල් පිළිමවලට මාරු කළෝ ය. මේ ගැන තැති ගනු එම්බා ස්වර්ගයෙනි, වෙවුලව්! මුළුමනින් පාළු වනු” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මන්ද මගේ ජනයා දුෂ්ටකම් දෙකක් කර ඇත: ඔවුහු ජීවන දිය උල්පත වන මා අතහැර, තමනට ජල රඳන, කාන්දු වන, දිය රඳවා ගත නො හැකි ජල රඳන කපා ගත්හ. ඉශ්‍රායෙල් දාසයෙක් ද? උපතින් ම වහලෙක් ද? නැත්නම් ඔහු කොල්ලයක් බවට පත් ව ඇත්තේ මන්ද? සිංහයෝ ඔහුට එරෙහිව ගෙරවූහ; තම හඬින් නාද කළහ. ඔහුගේ දේශය ඔවුහු නාස්ති කළෝ ය. පදිංචියට කිසිවකු නැතුව ඔහුගේ පුරවර ගරා වැටිණ. තවද මෙම්ෆිස් හා තාපන්හේස් මිනිස්සු ඔබගේ හිස් මුඳුන රැහැ දැමූහ. මාර්ගයේදී උන්වහන්සේ ඔබට මග පෙන් වූ කල, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අත්හැර දැමීමෙන්, මෙය නුඹලා ම නුඹලා පිටට ගෙන්වා ගත්තා නො වේ ද? එසේ නම් ඊජිප්තුවට මේ යන්නේ කුමට ද? නයිල් ගඟේ වතුර බොන්නට ද? අසිරියාවට මේ යන්නේ කුමට ද? යුප්‍රටීස් ගංඟාවෙන් වතුර බොන්නට ද? නුඹේ නපුරුකම නුඹට දඬුවම් කරනු ඇත, නුඹේ පසුබට ව යෑම නුඹට තරවටු කරනු ඇත. නුඹ, නුඹේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ප්‍රතික්ෂේප කිරීම හා මා ගැන ගෞරව-භයක් නුඹ තුළ නො වීම, කෙතරම් නපුරු වූත්, තිත්ත වූත් දෙයක් දැයි සිතා බලා-වටහාගන්නැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ වන ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “බොහෝ ඉහතදී නුඹ, නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි ඉරා දමා, ‘මම ඔබට සේවය නො කරමි’ යි කීවේ ය. ඇත්තෙන් ම නුඹ හැම උස් කන්දක් මත ද අතු පතර ඇති හැම ගහක් යට ද වෙසඟනක සේ වැතිරුණේ ය.