විනිසුරුවෝ 8:22-35

විනිසුරුවෝ 8:22-35 SCV

එකල ඉශ්‍රායෙල්වරු ගිඩියොන්ට කතා කොට, “අපගේ පාලකයා වන්න; ඔබත්, ඔබේ පුත්‍රයාත්, ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාත්. මන්ද මිදියන්වරුන් අතින් අප ගැලවූයේ ඔබ යැ” යි කීහ. එහෙත්, ගිඩියොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “මම නුඹලා පාලනය නො කරමි. මගේ පුතාත් නුඹලා පාලනය නො කරනු ඇත. ස්වාමින්වහන්සේ ම නුඹලා පාලනය කරන සේකැ” යි කීවේ ය. ඔහු තවදුරටත් කතා කරමින්, “මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි. හැම කෙනකු ම තම තමාගේ කොල්ලයේ පංගුවෙන් අරුංගලය බැගින් මට දෙන්නැ” යි කීවේ ය. (මන්ද සතුරනට රත්රං අරුංගල් තිබිණි. මන්ද ඔවුන් ඉෂ්මායෙල්වරුන් ය.) “කැමැත්තෙන් ම අපි ඒවා දෙන්නෙමු” යි කී ඔවුහු රෙදි කඩක් එලූහ. එවිට එක් එක්කෙනා තම තමාගේ කොල්ලයෙන් අරුංගලය බැගින් එහි දැමූහ. ඔහුගේ ඉල්ලීම පරිදි ලද රන් අරුංගල්වල බර ෂෙකෙල් එක්දහස් හත්සියයකි. ඒ හැර අඩ සඳ අබරණ හා මාල පෙති ද මිදියන් රජුන් හැඳි රාජවර්ණ ඇඳුම් ද ඔවුන්ගේ ඔටුවන්ගේ ගෙල බැඳි රන් දම් ද එහි විය. ගිඩියොන් එම රන්වලින් ඒපොද් සැට්ටයක් සාදවා, එය ඔහුගේ නගරය වන ඔෆ්‍රාහි පිහිටුවී ය. එහිදී සියලු ඉශ්‍රායෙල්වරු ඊට නමස්කාර කිරීමේ වේශ්‍යාකමෙහි යෙදුණහ. ගිඩියොන්ට හා ඔහුගේ පවුලට එය මලපතක් බවට පත් විය. මෙසේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ යටත් කරනු ලැබූ මිදියන්වරුන් යළි තම හිස එසවූයේ නැත. ගිඩියොන්ගේ දවස්හි දී දේශය හතළිස් වසරක් සාමය පැවැත්තේ ය. යෝවාෂ්ගේ පුත් යෙරුබ්බාල් වාසය පිණිස තම නිවසට ගියේ ය. ගිඩියොන්ට භාර්යාවන් බොහෝ දෙනකු වූ බැවින් ඔහුට දාව පුත්තු හැත්තෑ දෙනෙක් වූහ. ෂෙකෙම්හි විසූ ඔහුගේ අතිරේක බිරිඳ ද ඔහුට පුතකු බිහි කර දුන්නා ය. ඔහු අබිමෙලෙක් යනුවෙන් ඔහුට නම් තැබී ය. යෝවාෂ්ගේ පුත් ගිඩියොන් හොඳ මහලු වයසේ මියැදුණේ ය. අබියෙස්රීය පෙළපතට අයත් ඔෆ්‍රාහි ඔහුගේ පියාගේ සොහොනේ ඔහු භූමදාන කෙරිණ. ගිඩියොන් මියැදී නොබෝ කලකින් ඉශ්‍රායෙල් ජනයා බාල් දෙවියා නැමදීමේ වේශ්‍යාකමට යළි වැටුණහ. ඔවුහු බාල්-බෙරීත් තම දෙවියා කොට පිහිටුවා ගත්හ. හැම පැත්තෙන් ම වූ ඔවුන්ගේ සියලු සතුරන් අතින් ඔවුන් මිදූ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔවුහු සිහිපත් නො කළහ. තවද, ඉශ්‍රායෙල්ට හැම අයුරින් සෙත සැලසූ ගිඩියොන් හෙවත් යෙරුබ්බාල්ගේ පවුලට කරුණාව පෑමට ද ඔවුහු අපොහොසත් වූහ.