ඉන්පසු එප්‍රායිම් ජනයා, ඔහු අමතමින්, “මොකක් ද මේ නුඹ අපට කළේ? මිදියන්වරුන්ට එරෙහිව සටනට යද්දී අප කැඳවූයේ නැත්තේ ඇයි?” දැයි අසමින්, ඔහුට සැරෙන් දොස් පැවරූහ.
එහෙත් ඔහු, ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ කළ දෑ හා සසඳන විට මා කර ඇත්තේ මොනවා ද? එප්‍රායිම් ඇහිඳ ගත් මිදි පල, අබියෙසෙර්ගේ මුළු මිදි අස්වැන්නටත් වඩා අගෙයි නො වේ ද? දෙවියන්වහන්සේ මිදියන් නායකයින් වන ඔරේබ් හා සෙයේබ් ඔබේ අත්වලට දී ඇත. ඔබ හා සසඳන කල, මට කළ හැකි වූයේ මොනවා දැ?” යි කීවේ ය. ඔහු එසේ කී කල, ඔහුට එරෙහිව තිබූ ඔවුන්ගේ කෝපය සංසිඳිණි.
ගිඩියොන් හා ඔහුගේ මිනිසුන් තුන්සිය දෙනා දැඩි වෙහෙසට පත් ව සිටි නමුදු, දිගට ම ලුහුබඳිමින්, යොර්දාන් වෙත අවුත්, එයින් එතෙර වූහ. ඔහු සුක්කොත්හි මිනිසුන්ට කතා කොට, “මා අනුව ආ මිනිසුන්ට කරුණාකර රොටි දෙන්න. ඔවුන් වෙහෙසට පත් වෙලා. මම තවමත් මිදියන් රජුන් වන සෙබා හා සල්මුන්නා ලුහුබැඳ යමින් සිටිමි” යි කීවේ ය.
එහෙත් සුක්කොත් නිලධාරීහු උත්තර දෙමින්, “ඔබේ සේනාවට අප විසින් කෑම සපයන්නට, කෝ! සෙබා හා සල්මුන්නාගේ අත් ඔබේ අතට අසු වෙලා දැ?” යි ඇසූහ.
ගිඩියොන් ඊට පිළිතුරු දෙමින්, “හොඳයි එහෙනම්! ස්වාමින්වහන්සේ සෙබාත්, සල්මුන්නාත් මගේ අතට හසුකළ විට, මම වනයේ කටු හා ගොකටුවලින් නුඹලාගේ සිරුරු ඉරා දමන්නෙමි” යි පැවසී ය.
ඔහු එතැනින් පිටත් ව, පෙනූවෙල් වෙත ගොස්, ඔවුන්ගෙන් ද එපරිදි ම ඉල්ලී ය. එහෙත්, පෙනූවෙල් වාසීන් ද ඔහුට දුන්නේ සුක්කොත්වාසීන් දුන් උත්තරය ම ය. එබැවින් පෙනූවෙල් වාසීන් ඇමතූ ගිඩියොන්, “මම ජයග්‍රාහී ව ආපසු එන කල, මෙම බළකොටුව බිඳ හෙළන්නෙමි” යි පැවසී ය.
මේ අතර සෙබා හා සල්මුන්නා පහළොස් දහසක ඔවුන්ගේ සේනාව ද සමඟ කර්කොර්හි සිටියහ. පෙරදිගවාසී හමුදා වෙත ඉතිරි ව සිටියෝ ඔවුහු ය; අසිපත් දැරූ එකසිය විසිදහසක් වැටී ගොස් සිටියහ. නොබා හා යොග්බොහාට නැගෙනහිරින් කූඩාරම්වාසීන්ගේ මාවත ඔස්සේ ගිය ගිඩියොන්, අපරීක්ෂාකාරී ව සිටි හමුදාවට පහර දුන්නේ ය. සෙබා ද සල්මුන්නා ද පලා ගියහ. එහෙත් ඔවුන් ලුහුබැඳි ඔහු, සෙබා හා සල්මුන්නා යන මිදියන් රජුන් දෙදෙනා අල්ලාගෙන, ඔවුන්ගේ මුළු සේනාව සංත්‍රාසයට පත් කළේ ය.
ඉන්පසු යෝවාෂ්ගේ පුත් ගිඩියොන් යුද්ධය අවසානයේ හෙරෙස් නැග්ම ඔස්සේ ආයේ ය. ඔහු සුක්කොත් තරුණයකු අල්ලා, ඔහුගෙන් ප්‍රශ්න කරන්නට වන්නේ ය. එවිට ඔහු සුක්කොත් අධිපතීන් හා ප්‍රජා මූලිකයින් හැත්තෑහත් දෙනකුගේ නාම ඔහුට ලියා දුන්නේ ය. ඉන්පසු ගිඩියොන් අවුත්, සුක්කොත් මිනිසුන්ට හඬ ගසමින්, “ ‘වෙහෙස ව සිටින නුඹේ මිනිසුන්ට අප විසින් කෑම දෙන්නට, කෝ! සෙබා හා සල්මුන්නාගේ අත් ඔබේ අතට හසු වෙලා දැ?’ යි නුඹලා මට ගර්හා කළ මුන් මෙන්නැ” යි කීවේ ය. ඔහු එපුර ප්‍රජා මූලිකයින් අල්ලා, වනයේ කටු හා ගොකටුවලින් ඔවුන්ට දඬුවම් කරමින්, සුක්කොත් ජනයාට පාඩමක් උගැන්වී ය. ඔහු පෙනූවෙල් බළකොටුව ද බිඳ හෙළා, එපුර මිනිසුන් මරා දැමී ය.
ඉන්පසු සෙබා හා සල්මුන්නා ඇමතූ ඔහු, “තාබෝර්හි දී නුඹලා මරා දැමුවේ කොයි විදියේ මිනිසුන්දැ?” යි ඇසී ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “ඔවුන් ඔබ වගේ ය. හැම කෙනකු ම පෙනුමෙන් රජ කුමරුන් වැනි යැ” යි කීහ.
ගිඩියොන් පිළිතුරු දෙමින්, “ඒ, මගේ සහෝදරයෝ; මගේ මවගේ පුත්තු. නුඹලා ඔවුන්ට ජීවත් වන්නට ඉඩ හැර තිබුණා නම්, ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම මාත්, නුඹලා නො මරන්නට තිබුණා” යි කී ය. ඉන්පසු තම කුලුඳුලා වන යෙතෙර් අමතා, “නැගිට, මුන් මරනු!” යි කී ය. එහෙත් තරුණයා තම අසිපත ඇද්දේ නැත. තවමත් තරුණයකු වූ බැවින් ඔහු ඊට භය විය.
එවිට සෙබා හා සල්මුන්නා කතා කරමින්, “ඔබ ම නැගිට, අපට පහර දෙන්න. මන්ද, මිනිසා කෙබඳු ද ඔහුගේ ශක්තියත් එබඳු යැ” යි කීහ. එබැවින් ගිඩියොන් නැගිට, ඔවුන් මැරී ය. ඔවුන්ගේ ඔටුවන්ගේ ගෙලෙහි වූ අඩ සඳ අබරණ ද ඔහු ගත්තේ ය.
එකල ඉශ්‍රායෙල්වරු ගිඩියොන්ට කතා කොට, “අපගේ පාලකයා වන්න; ඔබත්, ඔබේ පුත්‍රයාත්, ඔබේ පුත්‍රයාගේ පුත්‍රයාත්. මන්ද මිදියන්වරුන් අතින් අප ගැලවූයේ ඔබ යැ” යි කීහ.
එහෙත්, ගිඩියොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “මම නුඹලා පාලනය නො කරමි. මගේ පුතාත් නුඹලා පාලනය නො කරනු ඇත. ස්වාමින්වහන්සේ ම නුඹලා පාලනය කරන සේකැ” යි කීවේ ය. ඔහු තවදුරටත් කතා කරමින්, “මම නුඹලාගෙන් ඉල්ලීමක් කරමි. හැම කෙනකු ම තම තමාගේ කොල්ලයේ පංගුවෙන් අරුංගලය බැගින් මට දෙන්නැ” යි කීවේ ය. (මන්ද සතුරනට රත්රං අරුංගල් තිබිණි. මන්ද ඔවුන් ඉෂ්මායෙල්වරුන් ය.)
“කැමැත්තෙන් ම අපි ඒවා දෙන්නෙමු” යි කී ඔවුහු රෙදි කඩක් එලූහ. එවිට එක් එක්කෙනා තම තමාගේ කොල්ලයෙන් අරුංගලය බැගින් එහි දැමූහ. ඔහුගේ ඉල්ලීම පරිදි ලද රන් අරුංගල්වල බර ෂෙකෙල් එක්දහස් හත්සියයකි. ඒ හැර අඩ සඳ අබරණ හා මාල පෙති ද මිදියන් රජුන් හැඳි රාජවර්ණ ඇඳුම් ද ඔවුන්ගේ ඔටුවන්ගේ ගෙල බැඳි රන් දම් ද එහි විය. ගිඩියොන් එම රන්වලින් ඒපොද් සැට්ටයක් සාදවා, එය ඔහුගේ නගරය වන ඔෆ්‍රාහි පිහිටුවී ය. එහිදී සියලු ඉශ්‍රායෙල්වරු ඊට නමස්කාර කිරීමේ වේශ්‍යාකමෙහි යෙදුණහ. ගිඩියොන්ට හා ඔහුගේ පවුලට එය මලපතක් බවට පත් විය.
මෙසේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ යටත් කරනු ලැබූ මිදියන්වරුන් යළි තම හිස එසවූයේ නැත. ගිඩියොන්ගේ දවස්හි දී දේශය හතළිස් වසරක් සාමය පැවැත්තේ ය.
යෝවාෂ්ගේ පුත් යෙරුබ්බාල් වාසය පිණිස තම නිවසට ගියේ ය.