ගිඩියොන් එහි ළඟා වෙත් ම, මෙන්න! මිනිසෙක් තම සගයාට සිහිනයක් පවසමින් සිටියේ ය. “ඔන්න, මා සිහිනයක් දැක්කා; මෙන්න! යව රොටියක් මිදියන් කඳවුරට පෙරැළී අවුත්, කූඩාරම වෙත පැමිණ, වැටෙන්නට පහර දී, එය උඩු-යටිකුරු කොට, බිඳ හෙළී යැ” යි පැවසී ය.
ඔහුගේ මිතුරා පිළිතුරු දෙමින්, “මේ නම් යෝවාෂ්ගේ පුත් ඉශ්රායෙල් මනුෂ්‍යයකු වූ ගිඩියොන්ගේ අසිපත මිස අන් කිසිවක් නො වේ. දෙවියන්වහන්සේ මිදියන්වරුන් හා මුළු කඳවුර ම ඔහුගේ අතට දී ඇතැ” යි කීවේ ය.
ගිඩියොන් ඒ සිහිනයත්, එහි අරුත් විවරණයත් ඇසූ කල නමස්කාර කළේ ය. ඉශ්රායෙල් කඳවුරට ආපසු ආ ඔහු, “නැගිටිනු! මන්ද ස්වාමින්වහන්සේ මිදියන් හමුදාව නුඹලාගේ අත්වලට දී ඇතැ” යි කීවේ ය. ඔහු, මිනිසුන් තුන්සිය දෙනා කණ්ඩායම් තුනකට බෙදී ය. ඔවුන් හැමගේ අත්වලට හොරණෑ ද හිස් කළ ගෙඩි ද දුන්නේ ය. ඒ කළ ගෙඩි තුළ පන්දම් විණ.
ඔහු ඔවුන් අමතමින්, “මා දිහා බලාගෙන, මා අනුගමන කරනු! කඳවුර අද්දරට මා ගිය පසු, මා කරන දේ ම කරනු! මාත් මා සමඟ සිටින සියලු දෙනාත් හොරණෑ පිඹින කල, ඔබත් මුළු කඳවුර වටා ඔබේ හොරණෑ පිඹ, ‘ස්වාමින්වහන්සේ හා ගිඩියොන් උදෙසා ය’ කියා මොර හඬ නගනු” යි කීවේ ය.
ගිඩියොන් හා ඔහු සමඟ සිටි මිනිසුන් සිය දෙනා මුර මාරු වූ විගස මැදියම් යාමය පටන් ගැන්මේදී, කඳවුර අද්දරට ළඟා වූවෝ, හොරණෑ පිඹ, තමන් අත වූ කළ ගෙඩි බින්දෝ ය. මෙසේ කණ්ඩායම් තුන ම වමතින් පන්දම් ගෙන, පිඹින පිණිස හොරණෑ දකුණතින් ගෙන, හොරණෑ හඬවා, කළ ගෙඩි බින්දෝ, “ස්වාමින්වහන්සේට හා ගිඩියොන්ට අසිපතෙකි” යි මොර හඬ නැගුවෝ ය. ඔවුන් එක් එක්කෙනා කඳවුර වටා තමන් සිටිය තැන ස්ථානගත ව සිටියදී, මිදියන්වරු සැවොම මර හඬ දෙමින්, පැන දිවූහ.
තවද හොරණෑ තුන්සියය හැඬ වූ කල, ස්වාමින්වහන්සේ කඳවුර මුළුල්ලෙහි එකිනෙකා අසිපත් දරා, එකිනෙකාට එරෙහිව නැගෙන්නට සැලසූ සේක. සේනාව ටබ්බාත් අසල ආබෙල්-මෙහෝලා සීමාව දක්වා සෙරේරා දෙසට බෙත්-ෂිට්ටා වෙත පලා ගියහ. නෆ්තලී ද ආෂෙර් ද මුළු මනස්සේ ද වෙතින් කැඳවනු ලැබූ ඉශ්රායෙල් ජනයා, මිදියන්වරුන් ලුහුබැන්දහ. එවිට ගිඩියොන් එප්‍රායිම් කඳුරට මුළුල්ලේ පණිවුඩකරුවන් යවමින්, “එන්න! පහළ බැස මිදියන්වරුන්ට එරෙහිව අවුත්, ඔවුන්ට එරෙහිව බෙත්-බාරා දක්වා දුරට හා යොර්දාන් ගං-තොටවල් අල්ලා ගන්නැ” යි දැන්වී ය.
මෙසේ කැඳවනු ලැබූ සියලු එප්‍රායිම්වරු බෙත්-බාරා තෙක් දුරට හා යොර්දාන් ගං-තොටවල් අල්ලා ගත්හ. ඔවුහු මිදියන් අධිපතීන් වූ ඔරේබ් හා සෙයේබ් අල්ලා ගත්හ. ඔරේබ් පර්වතයේදී ඔරේබ් මරා දැමූ ඔවුහු සෙයේබ්-මිදි මෝලෙහි දී සෙයේබ් මරා දැමූහ. මිදියන්වරුන් ලුහුබැඳ ගිය ඔවුහු ඔරේබ්ගේ හිස ද සෙයේබ්ගේ හිස ද යොර්දානෙන් එතෙර සිටි ගිඩියොන් වෙත ගෙන ආහ.