විනිසුරුවෝ 6:6-18

විනිසුරුවෝ 6:6-18 SCV

මෙසේ මිදියන් නිසා ඉශ්‍රායෙල් අන්ත දුගී බවට පත් වූයෙන්, ඉශ්‍රායෙල් ජනයා උපකාර පතා ස්වාමින්වහන්සේට මොර ගැසූහ. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මොර ගැසූ කල, උන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයා වෙත දිවැසිවරයකු යැවූ සේක. ඔහු මෙසේ පැවසී ය: “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඊජිප්තුවෙන් පිටතට, මම නුඹලාට මගපෙන්වා, වහල්කමේ නිවාසයෙන් පිටතට නුඹලා කැඳවාගෙන ආවෙමි. ඊජිප්තුවරුන් අතින් ද නුඹලාට පීඩා කළ සියල්ලන් අතින් ද මම නුඹලා මුදා, නුඹලා ඉදිරිපිටින් ඔවුන් පලවා හැර, ඔවුන්ගේ දේශය මම නුඹලාට දුනිමි. තවද මම නුඹලා අමතමින්, ‘නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. නුඹලා දැන් වෙසෙන දේශයේ වැසියන් වූ අමෝරිවරුන්ගේ දෙවිවරුනට භය නො වනු’ යි කීවෙමි. එහෙත් නුඹලා මගේ කටහඬට කීකරු වූයේ නැත.” ස්වාමින්වහන්සේගේ දූතයා අවුත්, අබියෙස්රීය පෙළපතේ යෝවාෂ්ට අයත් ඔෆ්‍රාහි ඒලා ගහ යට හිඳ ගත්තේ, යෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු බේරාගන්නා පිණිස, ඒවා මිදි මෝලෙහි මඩිමින් සිටියදී ය. ස්වාමින්වහන්සේගේ දූතයා ඔහුට පෙනී, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය; ප්‍රබල රණශූරය” යැයි පැවසී ය. ගිඩියොන් පිළිතුරු දෙමින්, “අහෝ මා ස්වාමිනි, ස්වාමින්වහන්සේ අප සමඟ වන සේක් නම්, මේ හැම දෑ අපට සිදු වී ඇත්තේ මොකද? ‘ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආවේ ස්වාමින්වහන්සේ නො වේ දැ?’ යි කියමින්, අපේ පියවරුන් අපට විස්තර කළ උන්වහන්සේගේ ඒ සියලු මවිත ක්‍රියා දැන් කෝ! ස්වාමින්වහන්සේ දැන් අප ඉවත දමා, මිදියන්වරුන් අතට අප යටත් කර දී ඇතැ” යි පැවසී ය. ස්වාමින්වහන්සේ ඔහු දෙස හැරුණු සේක්, “යන්න, ඔබගේ ඔය ප්‍රබලත්වයෙන් ගොස්, මිදියානුන් අතින් ඉශ්‍රායෙල් මුදා ගන්න. ඔබ යවන්නේ මම නො වෙම් දැ?” යි පැවසූහ. ගිඩියොන් පිළිතුරු දෙමින්, “අහෝ ස්වාමිනි, කෙසේ නම් මා ඉශ්‍රායෙල් මුදා ගන්න ද? බලන්න මගේ පෙළපත මනස්සේ තුළ දුබල ම එකයි. මා මගේ පියාගේ පවුලේ ඉතාම සුළු තැනැත්තා” යි කී ය. ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “එහෙත් මම ඔබ සමඟ සිටිමි. තනි මිනිසකුට සේ ඔබ මිදියන්වරුන්ට පහර දෙතැ” යි පැවසූ සේක. එවිට ගිඩියොන් උන්වහන්සේ අමතමින්, “ඔබවහන්සේ හමුවෙහි මට දැන් ප්‍රසාදය ලැබී ඇත්නම්, මා සමඟ මේ කතා කරන්නේ ඔබවහන්සේ ම වගට මට ලකුණක් පෙන්වුව මැනවි. මා ආපසු එන තෙක්, මගේ පිදුම් ගෙනවුත් ඔබ ඉදිරියේ තබන තෙක්, මෙතැනින් ඉවත් ව නො ගිය මැනව” යි ඉල්ලී ය. “ඔබ ආපසු එන තෙක් මම නැවතී සිටින්නෙමි” යි උන්වහන්සේ පැවසූ සේක.

විනිසුරුවෝ 6:6-18 සඳහා වීඩියෝව

විනිසුරුවෝ 6:6-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය