විනිසුරුවෝ 6:33-40

විනිසුරුවෝ 6:33-40 SCV

එකල සියලු මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග ජනයා ද එකට එක් වී, යොර්දානෙන් මෙගොඩ වී, යෙස්රෙයෙල් මිටියාවතේ කඳවුරු බැඳ ගත්හ. එහෙත් ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ, ගිඩියොන් මත පහළ වූ සේක. එවිට ගිඩියොන් තමා අනුව එන ලෙස අබියෙසෙර් වංශිකයින් කැඳවමින්, හොරණෑව හැඬවී ය. තමා අනුව එන ලෙස කැඳවුම් කරමින්, ඔහු මනස්සේ පුරා ද පණිවුඩකරුවන් යැවී ය. ඔහු ආෂෙර්, සාබුලොන් හා නෆ්තලී වෙත ද පණිවුඩකරුවන් යැවී ය. ඔවුහු ඔහු හමුවට ආහ. ගිඩියොන්, දෙවියන්වහන්සේ අමතමින්, “ඔබවහන්සේ කී පරිදි, මා ලවා ඔබවහන්සේ ඉශ්‍රායෙල් ගලවන සේක් නම්, මෙන්න, මම බැටළු ලොම් මිටියක්, කමතේ තබන්නෙමි. ලොම් මත පමණක් පිනි වැටී, අවට මුළු බිම වියළි ව තිබුණොත්, ඔබ පැවසූ පරිදි මා මගින් ඔබ ඉශ්‍රායෙල් ගලවන වග මම එයින් දැන ගන්නෙමි” යි කී ය. එය එසේ ම සිදු විණ. පසු දා උදෙන් පිබිදි ගිඩියොන්, ලොම් මිටිය තද කළේ ය. ඔහු එය මිරිකූ කල, බඳුනක් පිරෙන්නට පිනි දිය එහි විය. ඉන්පසු ගිඩියොන්, දෙවියන්වහන්සේ අමතමින්, “මා හා කෝප නො වනු මැනව. තව එක් වරක් මම කතා කරන්නෙමි. ලොම් මිටියෙන් තව එක් පිරික්සුමකට අවසර දුන මැනව. මෙවර ලොම් මිටිය වියළි ව තිබියදී, අවට මුළු බිම පිනි ඇතිරේවා!” යි කීවේ ය. ඒ රැයේ දෙවියන්වහන්සේ එය ද කළ සේක. ලොම් පමණක් වියළි ව තිබිණ. මුළු බිම පුරා පිනි විසිරී තිබිණ.