යළිත් ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළෝ ය. උන්වහන්සේ හත් අවුරුද්දක් මිදියන්වරුන්ගේ අත්වලට ඔවුන් දුන් සේක. මිදියන් හස්තය ඉශ්‍රායෙල්ට එරෙහිව ඒ සා පීඩාකාරී වූයෙන්, මිදියන් නිසා ඉශ්‍රායෙල්වරු කඳු විවරවල ද ගුහාවල ද ආරක්ෂිත කොටුවල ද තමනට සැඟවුම් සලසා ගත්හ. ඉශ්‍රායෙල්වරුන් වැවිලි වගා කළ හැම විටෙක, මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග ජනයා ද ඔවුන්ට එරෙහිව ආහ. ඔවුහු ඔවුන්ට එරෙහිව කඳවුරු ගසා ගෙන, ගාසා දක්වා ඈතට දේශයේ බවභෝග විනාශ කළෝ, ආහාර පාන හෝ බැටළු, ගව හා බූරු යන කිසි සතකු හෝ ඉශ්‍රායෙල්හි ඉතිරි නො කළෝ ය. ඔවුහු තම පශු සම්පත් ද තම කූඩාරම් ද සමඟ පොදි ගැසෙන පළඟැටි සේනා සේ ආහ. මිනිසුන් හා ඔවුන්ගේ ඔටුවන් ගණන් කළ නො හැකි තරම් විණ. ඔවුන්ගේ පැමිණීමත් සමඟ දේශය නැති නාස්ති විය. මෙසේ මිදියන් නිසා ඉශ්‍රායෙල් අන්ත දුගී බවට පත් වූයෙන්, ඉශ්‍රායෙල් ජනයා උපකාර පතා ස්වාමින්වහන්සේට මොර ගැසූහ.
මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මොර ගැසූ කල, උන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයා වෙත දිවැසිවරයකු යැවූ සේක. ඔහු මෙසේ පැවසී ය: “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඊජිප්තුවෙන් පිටතට, මම නුඹලාට මගපෙන්වා, වහල්කමේ නිවාසයෙන් පිටතට නුඹලා කැඳවාගෙන ආවෙමි. ඊජිප්තුවරුන් අතින් ද නුඹලාට පීඩා කළ සියල්ලන් අතින් ද මම නුඹලා මුදා, නුඹලා ඉදිරිපිටින් ඔවුන් පලවා හැර, ඔවුන්ගේ දේශය මම නුඹලාට දුනිමි. තවද මම නුඹලා අමතමින්, ‘නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. නුඹලා දැන් වෙසෙන දේශයේ වැසියන් වූ අමෝරිවරුන්ගේ දෙවිවරුනට භය නො වනු’ යි කීවෙමි. එහෙත් නුඹලා මගේ කටහඬට කීකරු වූයේ නැත.”
ස්වාමින්වහන්සේගේ දූතයා අවුත්, අබියෙස්රීය පෙළපතේ යෝවාෂ්ට අයත් ඔෆ්‍රාහි ඒලා ගහ යට හිඳ ගත්තේ, යෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු බේරාගන්නා පිණිස, ඒවා මිදි මෝලෙහි මඩිමින් සිටියදී ය. ස්වාමින්වහන්සේගේ දූතයා ඔහුට පෙනී, ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ ඔබ සමඟ ය; ප්‍රබල රණශූරය” යැයි පැවසී ය.
ගිඩියොන් පිළිතුරු දෙමින්, “අහෝ මා ස්වාමිනි, ස්වාමින්වහන්සේ අප සමඟ වන සේක් නම්, මේ හැම දෑ අපට සිදු වී ඇත්තේ මොකද? ‘ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආවේ ස්වාමින්වහන්සේ නො වේ දැ?’ යි කියමින්, අපේ පියවරුන් අපට විස්තර කළ උන්වහන්සේගේ ඒ සියලු මවිත ක්‍රියා දැන් කෝ! ස්වාමින්වහන්සේ දැන් අප ඉවත දමා, මිදියන්වරුන් අතට අප යටත් කර දී ඇතැ” යි පැවසී ය.
ස්වාමින්වහන්සේ ඔහු දෙස හැරුණු සේක්, “යන්න, ඔබගේ ඔය ප්‍රබලත්වයෙන් ගොස්, මිදියානුන් අතින් ඉශ්‍රායෙල් මුදා ගන්න. ඔබ යවන්නේ මම නො වෙම් දැ?” යි පැවසූහ.
ගිඩියොන් පිළිතුරු දෙමින්, “අහෝ ස්වාමිනි, කෙසේ නම් මා ඉශ්‍රායෙල් මුදා ගන්න ද? බලන්න මගේ පෙළපත මනස්සේ තුළ දුබල ම එකයි. මා මගේ පියාගේ පවුලේ ඉතාම සුළු තැනැත්තා” යි කී ය.
ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “එහෙත් මම ඔබ සමඟ සිටිමි. තනි මිනිසකුට සේ ඔබ මිදියන්වරුන්ට පහර දෙතැ” යි පැවසූ සේක.
එවිට ගිඩියොන් උන්වහන්සේ අමතමින්, “ඔබවහන්සේ හමුවෙහි මට දැන් ප්‍රසාදය ලැබී ඇත්නම්, මා සමඟ මේ කතා කරන්නේ ඔබවහන්සේ ම වගට මට ලකුණක් පෙන්වුව මැනවි. මා ආපසු එන තෙක්, මගේ පිදුම් ගෙනවුත් ඔබ ඉදිරියේ තබන තෙක්, මෙතැනින් ඉවත් ව නො ගිය මැනව” යි ඉල්ලී ය.
“ඔබ ආපසු එන තෙක් මම නැවතී සිටින්නෙමි” යි උන්වහන්සේ පැවසූ සේක.
එබැවින්, ගිඩියොන් ගොස්, එළු පැටවකු ද පිටි ඒෆාවකින් මුහුන් නුමුසු රොටි ද පිළියෙල කළේ ය. ඔහු වට්ටියකට මස් ද බඳුනකට හොදි ද දැමී ය. ඔහු ඒවා ඒලා ගහ යට සිටි තැනැත්තාණන් වෙත ගෙනවුත්, ඒවා පිළිගැන්වී ය.
දෙවියන්වහන්සේගේ දූතයා ඔහු අමතමින්, “මස් හා නුමුහුන් රොටි ගෙන, මේ පර්වතය පිට තබා, හොදි වත් කරන්නැ” යි කීවේ ය. ගිඩියොන් එසේ කළේ ය. ස්වාමින්වහන්සේගේ දූතයා තම අතේ වූ කෙවිට දිගු කොට, එහි අග මස් හා නුමුහුන් රොටි ස්පර්ශ කළේ ය. එවිට, පර්වතයෙන් ගිනි පැන නැගී, මස් ද රොටි ද දවා දැමිණ. ස්වාමින්වහන්සේගේ දූතයා ද අතුරුදහන් ව ගියේ ය. ඒ, ස්වාමින්වහන්සේගේ දූතයා වග ප්‍රත්‍යක්ෂ කර ගත් ගිඩියොන්, “අපොයි! අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, ස්වාමින්වහන්සේගේ දූතයාණන් මම මුහුණට මුහුණ දැක්කෙමි” යි කීවේ ය.
එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ඔබට සාමය වේවා! භය නො වන්න. මෙයින් ඔබ මියෙන්නේ නැතැ” යි කී සේක.
එබැවින්, එතැන ස්වාමින්වහන්සේට පූජාසනයක් ඉදි කළ ගිඩියොන්, යෙහෝවා-ෂාලෝම් යැයි ඊට නම් තැබී ය. එය අබියෙස්රීය පෙළපතට අයත් ඔෆ්‍රාහි මේ දක්වා පවතී.
ඒ රැයේ ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “ඔබේ පියාගේ ගවයා, හත් අවුරුදු වයස් දෙවැනි ගවයා ගන්න. ඔබේ පියාට අයත් බාල් දෙවියාගේ පූජාසනය කඩා බිඳ, ඒ පසෙක ඇති අෂේරා සැමරුම් කණුව කපා දමන්න. ඉන්පසු, මෙම උස් ගිර මුදුනේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නිසි පිළිවෙළට පූජාසනයක් ගොඩ නගා, ඔබ කපා දමන ලද අෂේරා කණුවේ ලීවලින් දෙවන ගවයා යාග පූජාවක් කොට, ඔප්පු කරන්නැ” යි පැවසූහ.
එබැවින්, ගිඩියොන් තම සේවකයින් දහ දෙනකු කැඳවා, ස්වාමින්වහන්සේ ඔහුට කී පරිදි කළේ ය. එහෙත්, තම පියාගේ පවුලේ අයටත්, නගරයේ මිනිසුන්ටත් භය වූ බැවින්, ඔහු එසේ කළේ, දහවලේ නො ව රාත්‍රියේදී ය.