විනිසුරුවෝ 21:1-25

විනිසුරුවෝ 21:1-25 SCV

“අපෙන් කිසිවකුත් අපේ දියණියක බෙන්යමින්ට විවාහය සඳහා දෙන්නේ නැතැ” යි ඉශ්‍රායෙල් මිනිස්සු මිස්පාහි දී දිවුරුම් දී තිබිණ. ජනයා බෙතෙල් වෙත අවුත්, සවස් වන තෙක් දෙවියන්වහන්සේ අබියස හිඳ, මහ හඬ නගා, දැඩි සොවින් වැලපුණහ. “අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඉශ්‍රායෙල්-අපට මෙහෙම දෙයක් සිදු වූයේ ඇයි? අද දවසේ ඉශ්‍රායෙල් වෙතින් එක් ගෝත්‍රයක් නැති වී යා යුත්තේ ඇයි දැ?” යි කීහ. පසු දා වේලපහින් පිබිදි ජනයා, පූජාසනයක් එහි ගොඩ නගා, දවන යාග පූජා හා ශාන්ති පූජා ඔප්පු කළහ. ඉන්පසු ඉශ්‍රායෙල්වරු කතා කොට, “ඉශ්‍රායෙල් සියලු ගෝත්‍ර අතුරින් ස්වාමින්වහන්සේ ඉදිරියේ රැස්වීමට නො පැමිණියේ කවුරුන් දැ” යි ඇසූහ. මන්ද, ස්වාමින්වහන්සේ ඉදිරියේ රැස්වීමට මිස්පා වෙත නො එන කවුරු නමුත්, නියතයෙන් ම මරණයට පත් කෙරේ ය යන දැඩි දිවුරුමක් ඔවුන් ගෙන තිබූ බැවිනි. ඉශ්‍රායෙල්වරු තම සහෝදර බෙන්යමින් ගැන අනුකම්පා කරමින්, “මේ දවසේ ඉශ්‍රායෙල් වෙතින් එක් ගෝත්‍රයක් සිඳ දමනු ලැබ ඇත. ඉතිරි ව සිටින අයට භාර්යාවන් සපයා දීමට අපට කළ හැක්කේ කුමක් ද? අපේ දූවරුන්ගෙන් කිසිවකුත් ඔවුන්ට භාර්යාවන් වශයෙන් නො දීමට ස්වාමින්වහන්සේ නමින් අප දිවුරුම් දී ඇතැ” යි කීහ. ඉන්පසු ඔවුහු කතා කරමින්, “මිස්පාහි ස්වාමින්වහන්සේ ඉදිරියේ රැස්වීමට නො පැමිණියේ ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරින් කවර එක දැ?” යි ඇසූහ. රැස්වීම සඳහා යාබේෂ්-ගිලියාද් වෙතින් කිසිවකුත් කඳවුරට පැමිණ නැති වග ඔවුන්ට පෙනී ගියේ ය. මන්ද, ජනයා ගණනය කෙරුණු ලැබූ විට, යාබේෂ්-ගිලියාද් වාසීන්ගෙන් කිසිවකුත් එහි නො වූ හෙයිනි. එබැවින්, රැස්වීම් සභාව දොළොස් දහසක රණවිරු සේනාවක් එහි පිටත් කර යවමින්, ඔවුනට මෙසේ අණ දුන්හ. “යාබේෂ්-ගිලියාද් වෙත ගොස්, එහි වෙසෙන්නන් කඩු ගා දමන්න. ස්ත්‍රීන් හා ළමා-ළපටීන් ද ඇතුළු ව. මෙයයි ඔබ කළ යුත්තේ. හැම පිරිමියකු හා පිරිමියකු හා නිදාගත් හැම ස්ත්‍රියක විනාශයට කැප කළ යුතු ය.” මෙසේ, යාබේෂ්-ගිලියාද්හි විසූවන් අතරෙහි පිරිමියකුගේ පහස කිසි දින නො ලද යොවුන් කන්‍යාවියන් හාරසිය දෙනකු ඔවුනට හමු විණ. ඔවුහු කානාන් දේශයේ ෂීලෝහි කඳවුර වෙත ඔවුන් කැඳවාගෙන ආහ. ඉන්පසු සමස්ත රැස්වීම් සභාව, රිම්මෝන් පර්වතයේ සිටි බෙන්යමින් ජනයා වෙත පණිවුඩ යවමින්, ඔවුන්ට සාමය ප්‍රකාශ කළහ. එකල බෙන්යමින් ජනයා ආපසු ආහ. යාබේෂ්-ගිලියාද්හි කාන්තාවන් අතරින් ජීවත් ව ඉතිරි කර ගත් කාන්තාවන් ඔවුනට දෙනු ලැබිණි. එහෙත් ඔවුන් ඒ හැමට ප්‍රමාණවත් නො වී ය. ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ගෝත්‍ර තුළ කපොල්ලක් ඇතිකර තිබූ බැවින්, ජනයා බෙන්යමින් ගැන අනුකම්පා දැක්වූහ. රැස්වීම් සභා වැඩිහිටියෝ කතා කරමින්, “බෙන්යමින්හි කාන්තාවන් විනාශ කෙරුණු බැවින්, මේ ඉතිරි ව සිටින මිනිසුන්ට භාර්යාවන් සපයා දීමට අප කුමක් කළ යුතුදැයි කීවේ ය. ඔවුහු කතා කරමින්, ඉශ්‍රායෙල් වෙතින් එක් ගෝත්‍රයක් මැකී නො යන පිණිස, ජීවත් ව ඉතිරි ව සිටින බෙන්යමින් මිනිසුන්ට උරුමකරුවන් සිටිය යුතු ම ය. එහෙත් අපේ දූවරුන් ඔවුනට භාර්යාවන් වශයෙන් දීමට අපට නුපුළුවන. මන්ද ‘බෙන්යමියකුට බිරිඳක දෙන කවරකුට වුව ශාප වේවා’ යි ඉශ්‍රායෙල් අප දිවුරුම් දී ඇති බැවිනි” යි කීහ. එබැවින් ඔවුහු කතා කරමින්, “ඔන්න! ස්වාමින්වහන්සේගේ වාර්ෂික මංගල්‍යය ෂීලෝහි දී පැවැත් වෙයි. එය බෙතෙල්වලට උතුරින් හා බෙතෙල් සිට ෂෙකෙම් දක්වා දිවෙන මහ මාවතට නැගෙනහිරින් හා ලෙබෝනාට දකුණින් ඇතැ” යි කීහ. එබැවින් ඔවුහු බෙන්යමින්වරුන්ට උපදෙස් දෙමින්, “ගොසින්, මිදි වතුවල සැඟවී, බලා සිටින්න. ෂීලෝ තරුණියන් නැටුම්වලට එක් වන්නට ආ විට, මිදි වතුවලින් එළියට අවුත්, ඔබ එකිනෙකාට බිරිඳක වශයෙන් ෂීලෝ-තරුණියන්ගෙන් එක් තැනැත්තියක අල්ලාගෙන, බෙන්යමින් දේශයට ගෙන යන්න. ඔවුන්ගේ පියවරුන් හෝ සොහොයුරන් හෝ අපට පැමිණිලි කළහොත්, අපි ඔවුන්ට කතා කොට, ‘අපට කාරුණික වන්න. ඔවුන්ට උදව්වක් කරන්න. මන්ද ඔවුන්ට ප්‍රමාණවත් තරම් භාර්යාවන් යුද්ධයේදී අපට හමු වුණේ නැත. ඇරත් නුඹලා, නුඹලාගේ දූවරුන් ඔවුන්ට නුදුන් බැවින්, නුඹලා අත වරදක් ද නැතැ’ යි කියන්නෙමු” යි කීහ. එබැවින් බෙන්යමින්වරු එසේ කළහ. ඒ හැම කෙනෙක් ම තම තමාට බිරිඳක වන පිණිස, නැටුමෙහි යෙදී සිටි තරුණිය බැගින් අල්ලා, ගෙන ගියහ. ඉන්පසු තම උරුම පෙදෙසට පැමිණි ඔවුහු නගර යළි ගොඩ නගා, ඒවායේ පදිංචි වූහ. එකල ඉශ්‍රායෙල්වරු එතැනින් පිටත් ව, තම තමන්ගේ ගෝත්‍ර වංශ හා පෙළපත් වෙත ද එකිනෙකාගේ උරුම කොටස වෙත ගියහ. එදවස්හි ඉශ්‍රායෙල්හි රජකු සිටියේ නැත. හැම කෙනෙක් ම කළේ තම තමාට හරි යැයි පෙනුණු දේ ය.

මෙයට අදාළ වීඩියෝ