විනිසුරුවෝ 20

20
බෙන්යමින්වරුන්ට දඬුවම
1ඉන්පසු ගිලියාද් දේශ වාසීන් ඇතුළු ව දාන් පටන් බෙයර්ෂෙබා දක්වා සියලු ඉශ්‍රායෙල් ජනයා පිටත් ව අවුත්, මුළු ප්‍රජාව එකාවන් ව මිස්පාහි දී ස්වාමින්වහන්සේ ඉදිරිපිට එක් රැස් වූහ. 2ඉශ්‍රායෙල් සියලු ගෝත්‍රවලට අයත් ජනයාගේ සියලු ප්‍රධානීහු, දෙවියන්වහන්සේගේ ජනයාගේ රැස්වීමෙහි පෙනී සිටි අසිපත් දැරූ පාබළ සෙබළු හාර ලක්ෂයකි. 3මේ අතර, ඉශ්‍රායෙල්වරුන් මිස්පා වෙත ගිය වග බෙන්යමින්වරුන්ට සැල විණ. ඉශ්‍රායෙල් ජනයා කතා කරමින්, “මේ අපරාධය සිදු වූයේ කෙසේ ද යන්න අපට කියන්නැ” යි කීහ.
4මරා දමන ලද කාන්තාවගේ සැමියා වූ ලෙවීයයා එවිට පිළිතුරු දෙමින්, “මම රැය ගත කරන්නට බෙන්යමින්ට අයත් ගිබෙයා වෙත ආවා. මාත්, මගේ අතිරේක බිරිඳත්. 5ගිබෙයා නායකයින් මට එරෙහිව අවුත්, රාත්‍රියේ මට එරෙහිව ගේ වට කළා. ඔවුන් ආවේ මා මරන්නටයි. ඉන්පසු ඔවුන් මගේ අතිරේක බිරිඳ මැරෙන තුරා දූෂණය කළා. 6එනිසා මා මගේ අතිරේක බිරිඳ කැබලිවලට කපා, ඉශ්‍රායෙල් උරුම පළාත් හැම එකකට ම කැබැල්ල බැගින් යැවුවා. එසේ කළේ ඔවුන් ඉශ්‍රායෙලය තුළ මේ අපචාරී නීචකම කළ නිසයි. 7දැන් නුඹලා හැම කෙනෙක් ම, ඉශ්‍රායෙල් සියල්ලෙනි, මොකක් ද නුඹලාගේ අදහස? මොකක් ද නුඹලාගේ තීරණය කියා මෙහිදී කියන්නැ” යි කී ය.
8එවිට, මුළු ජනතාව එකාවන් ව නැගිට, “අප කිසිවකුත් අපේ කූඩාරමට යන්නේ නැහැ. අපෙන් කිසිවකුත් අපේ නිවෙස්වලට ආපසු යන්නේ නැහැ. 9දැන් අප ගිබෙයාවට කරන්නේ මෙයයි. පස ඇට මගින් හැඟවෙන ලෙස, අප ඔවුන්ට විරුද්ධ ව යනවා. 10ඉශ්‍රායෙලය තුළ කරන ලද සියලු නින්දිතාවනට නිසි දඬුවම් දීමට බෙන්යමින්හි ගිබෙයා#20:10 ගිබෙයා හෙබ්‍රෙව් ගෙබා 33 වෙනි පදය ද එසේ ම ය. වෙත යන සේනාවට ආහාර සපයන පිණිස, ඉශ්‍රායෙල් සියලු ගෝත්‍ර වංශ අතරින් සිය දෙනකුගෙන් දස දෙනකු ද දහසකගෙන් සිය දෙනකු ද දස දහසකගෙන් දහසක් දෙනකු ද අප වෙන් කරනවා” යි කීහ. 11මෙසේ ඉශ්‍රායෙල් සියල්ලෝ එකාවන් ව එක්සත් ව ඒ පුරවරයට විරුද්ධ ව එක් රැස් වූහ.
12ඉන්පසු ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ, මුළු බෙන්යමින් ගෝත්‍ර වංශය පුරා මිනිසුන් යවමින්, “මේ මොන අපරාධයක් ද නුඹලා අතරෙහි සිදුකර ඇත්තේ? 13එබැවින් ගිබෙයා වාසී ඒ අධම මිනිසුන් අපට බාර දීපල්ලා. ඔවුන් මරා, ඉශ්‍රායෙල් වෙතින් ඒ දුෂ්ටකම පහ කර දමන පිණිස යැ” යි පැවසූහ.
එහෙත් බෙන්යමින්වරු තම සහෝදර ඉශ්‍රායෙල් ජනයාගේ වචනයට සවන් දුන්නේ නැත. 14ඉන්පසු බෙන්යමින් ජනයා එක් ව, ඉශ්‍රායෙල් ජනයාට විරුද්ධ ව සටන් වදින පිණිස නගරවලින් පිටතට ගිබෙයා වෙත ආහ. 15ඒ දවසේ බෙන්යමින්වරුන් ඔවුන්ගේ නගරවලින් සටනට රැස් කළ අසිපත් දරන මිනිසුන් ගණන විසිහය දහසකි. ඒ, තෝරාගනු ලැබ, රැස් කරන ලද, ගිබෙයා වාසී හත්සිය දෙනාට අමතරව ය. 16මේ සියල්ලන් අතර තෝරා ගන්නා ලද වමත්කරුවෝ හත්සිය දෙනෙක් වූහ. ඒ හැම කෙනකුට ම ගල් පටියෙන් නො වැරදී කෙස් ගහට ම විද්ද හැකි විය.
17බෙන්යමින්වරුන් හැර, රැස් ව සිටි අසිපත් දැරූ ඉශ්‍රායෙල් ජනයා හාර ලක්ෂයකි. ඔවුහු සියල්ලෝ යුද්ධකාමීහු ය.
18ඉශ්‍රායෙල්වරු බෙතෙල් වෙත ගොස්, “බෙන්යමින්වරුන්ට විරුද්ධ ව පළමු කොට සටනට යා යුත්තේ අපගෙන් කවුරු දැ?” යි දෙවියන්වහන්සේගෙන් විමසූහ.
ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “පළමු කොට යා යුත්තේ යූදා යැ” යි කී සේක.
19ඉශ්‍රායෙල්වරු පසු දින උදෑසන නැගිට, ගිබෙයාට එරෙහිව කඳවුරු බැන්දහ. 20ඉශ්‍රායෙල් ජනයා බෙන්යමින් ජනයාට එරෙහිව යුද්ධයට පිටත් වූ ඉශ්‍රායෙල්වරු ගිබෙයාහි දී ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසුණහ. 21එවිට බෙන්යමින්වරු ගිබෙයාවෙන් පිට ව අවුත්, ඉශ්‍රායෙල්වරුන් විසිදෙදහසක් ඒ දවසේ කපා හෙළූහ. 22ඉශ්‍රායෙල්වරු තම තමන් ධෛර්යවත් කරමින්, පළමු දවසේ තමන් රැඳී සිටි තැන්හි යළි පෙළ ගැසුණහ. 23තවද, ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේ අබියසට ගොස්, සවස් වන තෙක් වැලපුණහ. ඔවුහු ස්වාමින්වහන්සේ විමසමින්, “අප යළිත් අපේ සහෝදර බෙන්යමින් ජනයාට විරුද්ධ ව සටනට යා යුතු දැ” යි ඇසූහ.
“ඔවුනට එරෙහිව යන්නැ” යි ස්වාමින්වහන්සේ පැවසූ සේක.
24එබැවින්, ඉශ්‍රායෙල් ජනයා දෙවන දවසේත්, බෙන්යමින් ජනයාට එරෙහිව ගියහ. 25මෙවර, ඔවුන්ට එරෙහිව ගිබෙයාවෙන් පිටතට පැමිණි බෙන්යමින් ජනයා ඒ දෙවන දවසේ ඉශ්‍රායෙල්වරුන් තවත් දහඅට දහසක් කපා හෙළූහ. ඔවුන් සියල්ලෝ අසිපත් දරන්නන් වූහ.
26එවිට, ඉශ්‍රායෙල්වරු, මුළු ජනතාව, මුළු හමුදා සේනාංකය ම බෙතෙල් වෙත ගොස්, එහිදී වැලපුණහ. ඔවුහු ඒ දවසේ ස්වාමින්වහන්සේ ඉදිරියේ ඉඳගෙන, සවස් වන තෙක් නිරාහාර ව සිට, ස්වාමින්වහන්සේ ඉදිරියේ දවන යාග පූජා හා ශාන්ති පූජා පිළිගැන් වූහ. 27ඉශ්‍රායෙල්වරු ඉන්පසු ස්වාමින්වහන්සේගෙන් විමසූහ. එදවස්හි දෙවියන්වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණේ එහි ය. 28ආරොන්ගේ පුත් එලෙයාසර්ගේ පුත් පීනෙහාස් ඒ දවස්හි එය ඉදිරියේ මෙහෙ කළේ ය. ඔවුහු කතා කරමින්, “අප තවත් වරක්, අපේ සහෝදර බෙන්යමින් ජනයාට එරෙහිව සටනට යා යුතු ද? නවතින්න දැ?” යි ඇසූහ.
ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක්, “යන්න, හෙට මම නුඹලාගේ අත්වලට ඔවුන් යටත් කර දෙන්නෙමි” යි පැවසූ සේක.
29එබැවින්, ඉශ්‍රායෙල්, ගිබෙයා වටා මිනිසුන් රහසේ රැක සිටින්නට සැලැසූහ. 30ඉශ්‍රායෙල්වරුන් මේ තුන් වන දවසේ ද බෙන්යමින්වරුන්ට එරෙහිව ගිබෙයා ඉදිරිපිට සටනට පෙළ ගැසුණේ කලින් වතාවල මෙනි. 31එම ජනයාට එරෙහිව පිටතට ආ බෙන්යමින්වරු පුරවරයෙන් එපිටට ඈත් කරවනු ලැබූහ. පෙර වතාවලදී මෙන් ඔවුහු ඉශ්‍රායෙල්වරුන්ට පහර දෙමින්, බෙතෙල් හා ගිබෙයා වෙත දිවෙන මහ මාවත්හි, එළිමහන් බිමෙහි අහම්බෙන් මෙන් ඔවුන්ගෙන් තිස්දෙනකු පමණ මරා දැමූහ. 32එවිට බෙන්යමින්වරු, “පළමුවෙන් වගේ ඔවුන් අප ඉදිරියේ අන්ත පරාජයක් ලබතැ” යි කීහ. එහෙත් ඉශ්‍රායෙල්වරු ඒ අතරේ, “අපි පසුබසිමින් පුරවරයෙන් එපිටට මහ මාවත්වලට ඔවුන් ගෙන්වා ගනිමු” යි කීහ.
33ඉන්පසු ඉශ්‍රායෙල් ප්‍රධාන සේනාංකය, තමන් සිටි තැන්වලින් මෑත් ව, බාල්-තාමාර්හි සටනට පෙළ ගැසුණු අතර, රහසේ රැක සිටි ඉශ්‍රායෙල් සේනාංක ගිබෙයාට බටහිරින් පිහිටි ඔවුන් සිටි තැනින් මෑත් ව කඩා වැදුණහ. 34මුළු ඉශ්‍රායෙල් ජනයා අතරින් තෝරා ගැනුණු දසදහසක බළ ඇණියක් ගිබෙයාට පහර දුන්නේ ය. සටන ඒ සා සැහැසි විණ. එහෙත් බෙන්යමින්වරු, විපත්තිය තමන් වෙත කොතරම් ළං වී ඇද්දැයි වටහා නො ගත්හ. 35ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ඉදිරියෙහි බෙන්යමින් යටත් කළ සේක. ඉශ්‍රායෙල්වරු ඒ දවසේ විසිපන්දහස් එකසියයක බෙන්යමින් ජනයා ගසා හෙළූහ. ඒ සියල්ලෝ අසිපත් දැරූ අය වූහ. 36තමන් පරාජය කරනු ලැබ ඇති වග බෙන්යමින් ජනයා දුටුවේ එවිට ය.
ඉශ්‍රායෙල්වරු, ගිබෙයාට එරෙහිව ඔවුන් ස්ථානගත කළ රහසේ රැක සිටියවුන් පිට විශ්වාසය තබා, බෙන්යමින් ඉදිරියේ පසු බැස්සහ. 37රහසේ රැක සිටි සේනාව වහ වහා ගිබෙයා පිට කඩා වැදී, මුළු පුරවරය ම කඩුවෙන් ගසා හෙළූහ. 38ඉශ්‍රායෙල් මූලික සේනාංකය හා රහසේ රැක සිටි මිනිසුන් අතරේ එකඟතාවක් වූයේ ලකුණක් වශයෙන් ඔවුන් පුරවරය තුළින් දුම් වලාවක් නැංවූ කල, 39ඉශ්‍රායෙල් මූලික සේනාංකය ආපසු හැරී, සටන් වැදීමයි.
බෙන්යමින්, ඉශ්‍රායෙල්වරුන්ට පහර දීමට පටන් ගෙන, ඔවුන්ගෙන් තිස්දෙනකු පමණ මරා දැමූහ. “නිසැක ව ම පළමු සටනේදී මෙන් ඔවුන් අප ඉදිරියෙන් පැරදෙමින් සිටිතැ” යි ඔවුහු කීහ. 40එහෙත්, දුම් ටැඹ පුරවරයෙන් ඉහළ නැගෙන්නට වන් කල, බෙන්යමින් ජනයා ආපසු හැරී, බැලූහ. එවිට මෙන්න! මුළු පුරවරය ම දුමකින් අහසට නැගෙමින්! 41ඉශ්‍රායෙල් මිනිස්සු ආපසු හැරුණහ. බෙන්යමින්වරු භයින් කැලඹුණහ. මන්ද විපත්තිය තමන් පිට ළං වී ඇති වග ඔවුහු දුටුවහ. 42එබැවින් ඔවුහු ඉශ්‍රායෙල්වරුන් වෙතින් හැරී, පාළුකරය දෙසට පලා යන්නට වන්හ. එහෙත් සටන ඔවුනට වඩා ඉස්සර විය. පුරවරයෙන් පිටතට ආ අය ඒ අතර ඔවුන් කපා හෙළූහ. 43ඔවුහු බෙන්යමින් ජනයා වට කොට, ඔවුන් ලුහුබඳිමින්, ගිබෙයාට නැගෙනහිරදී පහසුවෙන් ඔවුන් යටත් කළහ. 44බෙන්යමින් ජනයා දහඅට දහසක් වැටී ගියහ. ඔවුහු සියල්ලෝ වීර සටන්කාමීහු ය. 45ඔවුන් ආපසු හැරී, පාළුකරය දෙසට, රිම්මෝන් පර්වතයට පලා යද්දී, මහ මාවත් දිගේ ඔවුහු පන්දහසක් ඝාතන කරන ලදහ. ඔවුහු ගිදොම් දක්වා ඈතට ලුහුබඳිනු ලදුව, දෙදහසක් දෙනා ඝාතන කරන ලදහ.
46මෙසේ අසිපත් දැරූ බෙන්යමින්වරු විසිපන්දහසක් ඒ දවසේ වැටී ගියහ. ඒ සියල්ලෝ වීර සටන්කාමීහු ය. 47එහෙත්, හයසිය දෙනෙක් පාළුකරයෙහි රිම්මෝන් පර්වතයට පලා ගියහ. ඔවුහු රිම්මෝන් පර්වතයෙහි හාර මසක් ගත කළහ. 48මේ අතර ඉශ්‍රායෙල් මිනිස්සු බෙන්යමින් ජනයාට එරෙහිව ආපසු හැරී, සියල්ලට ම කඩු මූණතින් පහර දුන්හ. පුරවරයට, ජනයාට, සතුනට හා හමු වූ අන් සියල්ලට පහර දුන්හ. ගිය ගිය හැම නගරයක් ම ගිනිබත් කළහ.

දැනට තෝරාගෙන ඇත:

විනිසුරුවෝ 20: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න