විනිසුරුවෝ 16:16-30
විනිසුරුවෝ 16:16-30 SCV
මෙසේ නෝක්කඩු කියමින්, ඈ ඔහුට ජීවිතය එපා වන තුරු දවසක් නෑර ම ඔහුට පෙරැත්ත කළා ය. එබැවින් ඔහු රහස මුළුමනින් ඇයට කීවේ ය. “කිසි දිනෙක මගේ හිසට දැළි පිහියක් තබා නැත. මම මවු කුස පටන් දෙවියන්වහන්සේට වෙන් කෙරුණු නසිරීයයෙක්මි. මගේ හිස මුඩු කළහොත්, මගේ ශක්තිය මා හැර යයි. මා දුර්වල වී අන් ඕනෑ ම කෙනකු මෙන් වෙතැ” යි කීවේ ය. අන්තිමේදී ඔහු ඒ රහස මුළුමනින් තමාට පැවසූ වග වටහා ගත් දෙලීලා, පිලිස්ති පාලකයින් වෙත පණිවුඩ යැවුවා ය. “මේ වතාවේත් එන්න. ඔහු මට හැම දෙයක් ම පැවසී යැ” යි දැන්වූවා ය. එබැවින් පිලිස්තීය පාලකයෝ, රිදී ද අතැතිව යළි ආහ. ඈ, තම උකුළේ ඔහුට නිදන්නට සලසා, මිනිසකු කැඳවා, ඔහුගේ හිසකේ හැඩපලු හත බූ ගෑවූවා ය. ඉන්පසු ඈ ඔහුට පීඩා කරන්නට වූවා ය. ඔහුගේ ශක්තිය, ඔහු හැර ගියේ ය. ඉන්පසු ඈ, “සම්සොන්, ඔන්න පිලිස්තිවරු එනෝ!” යි කෑ ගැසුවා ය. එවිට තම නින්දෙන් අවදි වූ ඔහු, “මම පිටතට ගොස්, පෙර වතාවලදී මෙන් මිදෙන්නෙමි” යි සිතී ය. එහෙත්, ස්වාමින්වහන්සේ තමා හැර ගොස් ඇති වග ඔහු නො දත්තේ ය. එවිට පිලිස්තිවරු ඔහු අල්ලා, ඔහුගේ ඇස් උගුලා, ගාසා වෙත ඔහු ගෙන ගියහ. ලෝකඩ විලංගුවෙන් බඳිනු ලැබ, සිරගෙදර ඇඹරුම් වැඩෙහි ඔහු යොදවනු ලැබිණ. කෙසේ වුව ද ඔහුගේ හිස මුඩු කරනු ලැබීමෙන් පසු ඔහුගේ හිසකේ යළි වැඩෙන්නට වන්නේ ය. මේ අතර, පිලිස්ති පාලකයෝ තමන්ගේ දෙවියන් වූ දාගෝන්ට මහා යාගයක් ඔප්පු කරන්නටත්, “අපේ දෙවියෝ අපේ හතුරා වූ සම්සොන් අපේ අත්වලට අසුකර දුන්නා” යි කියමින් ඒ ගැන උත්සව පවත්වන්නටත් එක් රැස් වූහ. ජනයා ඔහු දුටු කල, තම දෙවියන්ට ප්‍රශංසා කරමින්, “අප බොහෝ දෙනකු ඝාතන කළ, අපේ දේශයේ විනාශකයා වූ අපේ හතුරා, අපේ දෙවියන් විසින් අපේ අත්වලට හසුකර දෙන ලදැ” යි කීහ. ඔවුහු ප්‍රීතියෙන් ප්‍රමුදිත වූ කල, “අපට රැඟුම් දක්වන්නට සම්සොන් කැඳවන්නැ” යි කෑ ගැසූහ. එබැවින් සිරගෙදර සිට සම්සොන් කැඳවාගෙන එනු ලැබිණ. ඔහු ඔවුන් උදෙසා රැඟුම් දැක්වී ය. ඔවුන් කුලුනු අතරේ ඔහු සිට වූ කල, තම අත අල්ලා සිටි සේවකයාට කතා කළ සම්සොන්, “මේ දෙවොල දරා සිටින කුලුනුවලට මා හේත්තු වන පිණිස, ඒවා අතගා බලන්න ඉඩ හරින්නැ” යි ඉල්ලී ය. මේ අතර දෙවොල ස්ත්‍රීන්ගෙන් ද පුරුෂයින්ගෙන් ද පිරී තිබිණ. පිලිස්තීය පාලකයෝ සැවොම එහි වූහ. සම්සොන්ගේ රැඟුම් නරඹමින්, පුරුෂයින් හා ස්ත්‍රීන් තුන්දහසක් පමණ දෙවොලේ පියස්ස මත වූහ. එවිට සම්සොන් ස්වාමින්වහන්සේටයාච්ඤා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මා සිහි කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස, තව එක ම වතාවක් මා ශක්තිමත් කළ මැනව. එක් ප්‍රයත්නයකින් ම මේ පිලිස්තීන්ගෙන් මගේ ඇස් දෙකේ පළිය ගැනීමට ඉඩ හළ මැනවි” යි කී ය. ඉන්පසු සම්සොන් දෙවොල දරා සිටි ප්‍රධාන කුලුනු දෙකට ළඟා වී, එකක් පිට තම දකුණත ද අනෙක පිට තම වමත ද තබා, තරයේ ඒවා අල්ලා ගත්තේ ය. එසේ කොට, “පිලිස්තීන් සමඟ මමත් මැරෙම්වා” යි කී සම්සොන් තම මුළු වැර යොදා ඒවා තල්ලු කළේ ය. එවිට එතුළ වූ පාලකයින් ද මුළු ජනයා ද පිට දෙවොල කඩා වැටුණේ ය. මෙසේ, ඔහු ජීවත් ව සිටියදී මැරූ අයගේ ගණනට වඩා තම මරණයේදී මැරූ අය ගණනින් වැඩි ය.

