විනිසුරුවෝ 15:1-6
විනිසුරුවෝ 15:1-6 SCV
ටික දිනකට පසුව, තිරිඟු අස්වනු සමයේ සම්සොන් එළු පැටවකු ද ගෙන, තම බිරිඳ බලන්නට ගියේ ය. “මම මගේ බිරිඳගේ කුටියට යමි” යි ඔහු කීව ද, ඇගේ පියා එතුළට යෑමට ඔහුට ඉඩ දුන්නේ නැත. ඇගේ පියා ඔහු අමතමින්, “ඔබ සැබවින් ම ඇයට වෛර වූ වග මට වැටහී ගියා. එනිසා නුඹේ යහළුවාට මා ඇය දුන්නා. ඇගේ බාල සහෝදරී, ඇයටත් වඩා සුරූපී නො වේ ද? ඇය වෙනුවට මැය ගන්නැ” යි කීවේ ය. එවිට සම්සොන් ඔවුන් අමතමින්, “මේ වාරේ මා පිලිස්තිවරුන්ට කරන හානිය ගැන මා නිදොස් යැ” යි කීවේ ය. ඉන්පසු සම්සොන් පිටතට ගොස්, නරි තුන්සිය දෙනකු අල්ලා, දෙන්නා-දෙන්නා බැගින් උන් වලිගාවලින් බැන්දේ ය. ඉන්පසු ඒ වලිග යුගලකට පන්දම බැගින් තබා බැඳ, ඒ පන්දම් ගිනි ලා, පිලිස්තීන්ගේ පැසුණු ගොයම මධ්‍යයට ඒ නරි හැරියේ ය. ඔහු එලෙසින් කැපූ ගොයම් මිටි ද නො කැපූ ගොයම ද මිදි වතු හා ඔලීව උයන් ද ගිනි ලෑවේ ය. එවිට පිලිස්තිවරු, “කවුරු ද මෙය කළේ?” යි ඇසූහ. “තිම්නීයයාගේ බෑණා, සම්සොන් ය. එසේ කර ඇත්තේ, ඔහුගේ බිරිඳ ඔහුගේ යහළුවාට දුන් නිසා යැ” යි දන්වනු ලැබිණ. එබැවින් පිලිස්තිවරු අවුත්, ඇය ද ඇගේ පියා ද ගින්නෙන් පුලුස්සා දැමූහ.

