විනිසුරුවෝ 15:1-20

විනිසුරුවෝ 15:1-20 SCV

ටික දිනකට පසුව, තිරිඟු අස්වනු සමයේ සම්සොන් එළු පැටවකු ද ගෙන, තම බිරිඳ බලන්නට ගියේ ය. “මම මගේ බිරිඳගේ කුටියට යමි” යි ඔහු කීව ද, ඇගේ පියා එතුළට යෑමට ඔහුට ඉඩ දුන්නේ නැත. ඇගේ පියා ඔහු අමතමින්, “ඔබ සැබවින් ම ඇයට වෛර වූ වග මට වැටහී ගියා. එනිසා නුඹේ යහළුවාට මා ඇය දුන්නා. ඇගේ බාල සහෝදරී, ඇයටත් වඩා සුරූපී නො වේ ද? ඇය වෙනුවට මැය ගන්නැ” යි කීවේ ය. එවිට සම්සොන් ඔවුන් අමතමින්, “මේ වාරේ මා පිලිස්තිවරුන්ට කරන හානිය ගැන මා නිදොස් යැ” යි කීවේ ය. ඉන්පසු සම්සොන් පිටතට ගොස්, නරි තුන්සිය දෙනකු අල්ලා, දෙන්නා-දෙන්නා බැගින් උන් වලිගාවලින් බැන්දේ ය. ඉන්පසු ඒ වලිග යුගලකට පන්දම බැගින් තබා බැඳ, ඒ පන්දම් ගිනි ලා, පිලිස්තීන්ගේ පැසුණු ගොයම මධ්‍යයට ඒ නරි හැරියේ ය. ඔහු එලෙසින් කැපූ ගොයම් මිටි ද නො කැපූ ගොයම ද මිදි වතු හා ඔලීව උයන් ද ගිනි ලෑවේ ය. එවිට පිලිස්තිවරු, “කවුරු ද මෙය කළේ?” යි ඇසූහ. “තිම්නීයයාගේ බෑණා, සම්සොන් ය. එසේ කර ඇත්තේ, ඔහුගේ බිරිඳ ඔහුගේ යහළුවාට දුන් නිසා යැ” යි දන්වනු ලැබිණ. එබැවින් පිලිස්තිවරු අවුත්, ඇය ද ඇගේ පියා ද ගින්නෙන් පුලුස්සා දැමූහ. එවිට සම්සොන් ඔවුන්ට කතා කොට, “එහෙනම් නුඹලා මෙහෙමයි කළේ. මමත් නුඹලාගෙන් පළිය ගන්නා තෙක් නවතින්නේ නැති වගට දිවුරමි” යි කීවේ ය. ඔහු ඔවුන්ට ගිය ගිය අත සැහැසි ලෙස පහර දී, ඉමහත් ඝාතනයක් කළේ ය. ඉන්පසු ඔහු පහළට ගොස්, ඒටාම් පර්වතයේ ගුහාවක නැවතී සිටියේ ය. එකල පිලිස්තිවරු ගොස්, යූදාහි කඳවුරු ගසා, ලෙහී ආක්‍රමණ කළහ. යූදා ජනයා ඔවුන් විමසමින්, “නුඹලා අපට විරුද්ධ ව ආවේ මන්දැ?” යි ඇසූහ. ඔවුහු පිළිතුරු දෙමින්, “සම්සොන් අපට කළ ලෙස, ඔහුටත් කරන්නට ඔහු අල්ලා බැඳ දැමීමට යැ” යි කීහ. එවිට, තුන්දහසක් යූදා ජනයා ඒටාම් පර්වත ගුහාව වෙත පහළට ගොස්, සම්සොන්ට කතා කොට, “පිලිස්තිවරුන් අපේ පාලකයින් වග නුඹ දන්නේ නැති ද? මොනවද මේ නුඹ අපට කර තිබෙන්නේ?” යි ඇසූහ. “ඔවුන් මට කළ දේ ම මමත් ඔවුන්ට කළෙමි” යි ඔහු පැවසී ය. ඔවුහු කතා කරමින්, “අප ආවේ නුඹ බැඳගෙන ගොස්, පිලිස්තිවරුන් අතට බාර දීමට යැ” යි කීහ. එවිට සම්සොන්, “නුඹලා මට පහර දෙන්නේ නැති වගට දිවුරන්නැ” යි ඉල්ලී ය. ඔවුහු පිළිතුරු දෙමින්, “හොඳයි! සැබවින් ම අප නුඹ මරා දමන්නේ නැත. නුඹ බැඳ, ඔවුන් අතට බාර දෙනවා පමණ යැ” යි කීහ. මෙසේ, අලුත් කඹ දෙකකින් ඔහු වෙළූ ඔවුහු පර්වතයෙන් උඩහට ඔහු ගෙන ගියහ. ඔහු ලෙහී වෙත ළඟා වෙද්දී, පිලිස්තිවරු කෑ කොස්සන් දෙමින්, ඔහු හමුවට ආහ. එවිට, ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ බලවත් ලෙස ඔහු පිට පැමිණි සේක. උරහිස් මත වූ කඹ ගින්නට හසු වූ හණ මෙන් විය. ඔහුගේ බැඳුම් දිය විය. ඔහුට බූරුවකුගේ අලුත් හකු ඇටයක් හමු විණි. එය අහුලා ගත් ඔහු මිනිසුන් දහසක් ඉන් ගසා හෙළී ය. ඉන්පසු සම්සොන්: “බූරුවකුගේ හකු ඇටයකින් ගොඩවල් පිට ගොඩ ගැසීමි. බූරුවකුගේ හකු ඇටයකින් මම මිනිසුන් දහසක් මැරීමි” යි කීවේ ය. එසේ කියා නිම වූ පසු, ඔහු එම හකු ඇටය ඉවත විසී කළේ ය. එම ස්ථානය, රාමත්-ලෙහී නමින් හැඳින්විණ. ඔහුට තද පිපාසයක් දැනිණ. එබැවින් ඔහු ස්වාමින්වහන්සේට හඬ ගසමින්, “ඔබගේ මේ සේවකයා මගින් ඔබවහන්සේ මේ විශිෂ්ට ජයග්‍රහණය දුන් සේක. එහෙත්, දැන් මා පිපාසයෙන් මියැදී, මේ චර්ම-අඡේදිතයන්ගේ අතට හසු විය යුතු දැ?” යි කෑගැසී ය. එවිට දෙවියන්වහන්සේ ලෙහීහි තිබූ කුහර සහිත තැනක් විවර කළ සේක. එතැනින් වතුර ගලා ආවේ ය. සම්සොන් එයින් බීවේ ය. එවිට යළි ශක්තිය ලැබූ ඔහු නව පණක් ලැබී ය. එබැවින් එම උල්පත, ඒන්-හක්-කෝරේ නමින් හඳුන්වනු ලැබී ය. එය මේ දක්වා ලෙහීහි තිබේ. පිලිස්තිවරුන්ගේ සමයේ සම්සොන් අවුරුදු විස්සක් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය.

මෙයට අදාළ වීඩියෝ

විනිසුරුවෝ 15:1-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය