පසුව, ඇය විවාකර ගැනීමට නැවතත් එහි යද්දී සිංහ මළකුණ බැලීමට, ඔහු එදෙසට හැරී ගියේ ය. එවිට මෙන්න! සිංහ මළකුණෙහි මී මැසි රොත්තක් හා මී පැණි! ඔහු තම අතින් ඒවා සූරාගෙන, එය කමින්, ගමන් ගත්තේ ය. ඔහු තම පියා හා මව වෙත අවුත්, ඔවුන්ට ද දුන්නේ ය. ඔවුහු ද ඒවා කෑහ. තමා ඒවා ගත්තේ සිංහ මළකුණෙන් වග ඔහු ඔවුන්ට කීවේ නැත.
ඔහුගේ පියා ඒ කාන්තාව බැහැදැකීමට ගියේ ය. සම්සොන් එහිදී සාදයක් පැවැත්වී ය. මන්ද තරුණයන් අතර එවැනි සිරිතක් තිබිණි. ජනයා ඔහු දුටු විට ඔහු සමඟ සිටින්නට සගයින් තිස්දෙනකු පත් කළහ.
සම්සොන් ඔවුන් අමතමින්, “මා දැන් ඔබෙන් තේරවිල්ලක් අහනවා. සාදයේ දවස් හත අතරේ ඔබට එය විසඳිය හැකි වුවහොත්, මා ඔබට හණ ඇඳුම් තිහක් හා ඇඳුම් කට්ටල තිහක් දෙනවා. එහෙත් ඒ කුමක් දැයි ඔබට කිව නො හැකි වුවහොත්, හණ ඇඳුම් තිහක් හා ඇඳුම් කට්ටල තිහක් ඔබ මට දිය යුතු යැ” යි කීවේ ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “හා, ඔබේ තේරවිල්ල කියන්න. අපි එය අහමු” යි කීහ.
එවිට ඔහු ඔවුන් අමතමින්,
“කා දමන්නාගෙන් කෑමක් නික්මිණි.
බලවතාගෙන් මිහිරක් නික්මිණැ” යි
පැවසී ය.
දවස් තුනක් ම ඔවුන්ට එම තේරවිල්ල විසඳිය නො හැකි විය.
හතර වන දවසේ ඔවුහු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “තේරවිල්ල අපට කියන පිණිස චාටුවෙන් නුඹේ සැමියා පොලඹවන්න. නැතහොත්, අපි නුඹත්, නුඹේ පියාගේ නිවසත් ගිනිලන්නෙමු. නුඹලා අප කැඳවා ගත්තේ අප හිඟමනට දමන්නට දැ?” යි පැවසූහ.
එවිට, සම්සොන්ගේ බිරිඳ ඔහු ඉදිරියේ හඬා වැටී, “ඔබ මට වෛර කරනවා පමණයි; සැබෑ ආදරයක් ඇත්තේ ම නැහැ. ඔබ මගේ අයට තේරවිල්ලක් කී නමුත්, එහි විසඳුම මට කීවේ නැහැ!” යි කීවා ය.
ඔහු ඇයට පිළිතුරු දෙමින්, “මේ බලන්න, මගේ පියාටවත්, මවටවත් මා එය නො කී කොට, මා නුඹට කියන්නේ කුමට දැ?” යි ඇසී ය. කෙසේ වුව ද සාදය පැවති හත් දවසේ ම ඈ ඔහු ඉදිරියෙහි හැඬුවා ය. එබැවින් හත් වන දවසේ ඔහු ඇයට එය පැවසී ය. ඇගේ පෙරැත්තය ඒ සා බලවත් විය. පසුව ඈ, ඇගේ ජනයාට තේරවිල්ල කියා දුන්නා ය.
හත් වන දවසේ හිරු බැස යන්නට කලින් එපුර වාසීහු ඔහු අමතමින්,
“මී පැණියට වඩා මිහිර කවරේ ද?
සිංහයකුට වඩා බලවතා කවරේ දැ?” යි කීහ.
එවිට සම්සොන් ඔවුන් අමතමින්,
“නුඹලා මගේ නෑම්බිය යොදා හෑවේ නැති නම්,
මගේ තේරවිල්ල විසඳන්නේ නැතැ” යි
කීවේ ය.
එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ වහ වහා ඔහු පිට පැමිණි සේක. එවිට අෂ්කෙලොන් වෙත පල්ලම් බැස්ස ඔහු, නගරයේ මිනිසුන් තිස්දෙනකු ගසා හෙළා, ඔවුන් සතු දෑ පැහැර, ඔවුන්ගේ ඇඳුම් ගෙන, තේරවිල්ල විසඳූ අයට දුන්නේ ය. ඔහු තම පියාගේ ගෙදරට ගියේ කෝපයෙන් ඇවිළෙමිණි. සම්සොන්ගේ බිරිඳ, මනාල මිතුරා ලෙස පැමිණි ඔහුගේ සගයාට දෙන ලද්දී ය.