විනිසුරුවෝ 14:1-7

විනිසුරුවෝ 14:1-7 SCV

සම්සොන්, තිම්නා නගරයට ගිය කල, තිම්නාහි දී යොවුන් පිලිස්ති ළඳක් ඔහුගේ ඇස ගැසුණේ ය. තම පියාත්, මවත් වෙත ආපසු පැමිණි සම්සොන්, ඔවුන්ට කතා කොට, “මා අද තිම්නාහි දී පිලිස්ති ළඳක් දුටුවා. මගේ බිරිඳ කොට ඇය මට ගෙනැවිත් දෙන්නැ” යි කී ය. එවිට ඔහුගේ පියාත්, මවත්, “නුඹේ නෑයින් අතරේවත්, අපේ ජනයා අතරේවත් සුදුසු ස්ත්‍රියක් නැතිවට ද නුඹ මේ චර්ම-අඡේදිත පිලිස්තීන් අතරින් බිරිඳක් ගන්නට යන්නේ?” යි ඇසූහ. එහෙත් සම්සොන් තම පියා අමතමින්, “මට ඇය ගෙනැවිත් දෙන්න. මගේ කැමැත්ත ඇයට” යි කී ය. ස්වාමින්වහන්සේගෙන් මෙය පැමිණියක් වග ඔහුගේ පියා හා මව නො දත්හ. මන්ද උන්වහන්සේ පිලිස්තිවරුනට එරෙහිවීමේ අවස්ථාවක් සොයමින් සිටි සේක. එවක ඉශ්‍රායෙල් පාලනය කළෝ පිලිස්තිවරු ය. සම්සොන් තම පියා ද මව ද කැටිව, තිම්නා බලා ගියේ ය. තිම්නා මිදි වතුවලට ළඟා වෙමින් සිටියදී, මෙන්න! හදිසියේ ම සිංහ නාම්බෙක් ගොරවමින්, ඔහු දෙසට ආවේ ය. ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ ඔහු පිට පැමිණි සේක. එවිට ඔහු නිරායුධ තම දෑතින් සිංහයා දෙකඩ ව ඉරා දැමුවේ, එළු පැටවකු ඉරා දමන්නාක් මෙනි. එහෙත් තමා කළ දේ ගැන ඔහු තම පියාට හෝ මවට කීවේ නැත. ඉන්පසු ඔහු ගොස්, එම කාන්තාව සමඟ කතා කළේ ය. සම්සොන්ට ඇය ප්‍රසන්න විය.

මෙයට අදාළ වීඩියෝ

විනිසුරුවෝ 14:1-7 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය