සෝරාහි මානෝවා නම් මිනිසෙක් සිටියේ ය. ඔහු දාන් පෙළපතේ කෙනෙකි. ඔහුගේ බිරිඳ වඳ බැවින්, දරුවන් නො ලද්දී ය. ස්වාමින්වහන්සේගේ දූතයා ඒ ස්ත්‍රියට පෙනී, ඇය අමතමින්, “ඔන්න, ඔබ වඳ බැවින් මෙතෙක් දරුවන් ලද්දේ නැත. එහෙත්, ඔබ ගැබ් දරා, පුතකු බිහි කරනු ඇත. එබැවින් දැන්, මිදි යුෂ හෝ සැර බීමක් පානය නො කිරීමටත්, යම් අපවිත්‍ර දෙයක් අහරට නො ගැනීමටත්, වග බලා ගන්න. මන්ද ඔබ පිළිසිඳගෙන, පුතකු ගැබ් දරනු ඇත. ඔහුගේ හිසට දැළි පිහියක් ළං නො කළ යුතු ය. මන්ද, පිරිමි ළමයා මව් කුස පටන් ම දෙවියන්වහන්සේට කැප නසිරීයයකු වන්නේ ය. ඔහු, පිලිස්තිවරුන් අතින් ඉශ්‍රායෙල් මුදා ගැනීම අරඹන්නේ යැ” යි කීවේ ය.
එවිට එම කාන්තාව තම සැමියා වෙත ගොස්, ඔහු අමතමින්, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මා ළඟට ආවා. ඔහුගේ පෙනීම දෙවියන්වහන්සේගේ දූතයකු වගෙයි. මහ භයංකාරයි. ඔහු කොහේ සිට ආවාදැයි ඔහුගෙන් මා ඇසුවේ නෑ. ඔහු මට ඔහුගේ නම කීවේත් නෑ. එහෙත් ඔහු මට මෙසේ කීවා: ‘ඔබ පිළිසිඳගෙන, පුතකු ගැබ් දරනු ඇත. එබැවින් මිදි යුෂ හෝ සැර බීමක් පානය නො කළ යුතුයි. අපවිත්‍ර යමක් අහරට නො ගත යුතුයි. මන්ද පිරිමි ළමයා උපතේ පටන් මියෙන තෙක් ම, දෙවියන්වහන්සේට නසිරීයයකු වනු ඇත’ කියා” කීවා ය.
එවිට මානෝවා ස්වාමින්වහන්සේට කන්නලව් කරමින්, “අහෝ, ස්වාමිනි, ඔබවහන්සේ එවන ලද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා යළි අප වෙත එවුව මැනවි. උපදින්නට සිටින පිරිමි ළමයා සම්බන්ධයෙන් අප කෙසේ කටයුතු කළ යුතුදැයි අපට උගන්වන පිණිස යැ” යි යැද්දේ ය.
දෙවියන්වහන්සේ මානෝවාට සවන් දුන් සේක. ඒ කාන්තාව කෙතෙහි හිඳ සිටියදී, දෙවියන්වහන්සේගේ දූතයා යළිත් ඇය වෙත ආවේ ය. එහෙත්, ඇගේ සැමියා, මානෝවා, ඇය සමඟ සිටියේ නැත. එබැවින් වහ වහා තම සැමියා වෙත දිවූ ඈ, ඔහුට කරුණු සැල කරමින්, “අන්න! අර කලින් දවසේ මට පෙනුණු මිනිසා ඇවිදින්!” යි කීවා ය.
මානෝවා නැගිට, තම බිරිඳ අනුව ගොස්, ඒ මිනිසා වෙත පැමිණ, ඔහු අමතමින්, “මේ කාන්තාවට කතා කළ මිනිසා ඔබ දැ?” යි ඇසී ය.
“ඔව්, ඒ මම යැ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
එවිට මානෝවා ඔහු විමසමින්, “ඔබගේ වචනය ඉටු වූ කල, දරුවාගේ ජීවිත පැවැත්ම හා වැඩ කටයුතු පිළිබඳ උපදෙස් මොනවා දැ?” යි ඇසී ය.
ස්වාමින්වහන්සේගේ දූතයා මානෝවාට පිළිතුරු දෙමින්, “මා ඇයට කී හැම දෙයක් ම ඔබගේ බිරිඳ කළ යුතු ව ඇත. මිදි වැලෙන් ගන්නා කිසිවක් ඇය අහරට නො ගත යුතු ය. මිදි යුෂ හෝ සැර බීමක් ඇය පානය නො කළ යුතු අතර කිසි අපවිත්‍ර දෙයක් අහරට නො ගත යුතු ය. මා ඇයට අණ කළ හැමකක් ම ඇය පිළිපැදිය යුතු යැ” යි පැවසී ය.
මානෝවා එවිට, ස්වාමින්වහන්සේගේ දූතයා අමතමින්, “ඔබට එළු පැටවකු පිළියෙල කරන තෙක් ඔබ, නවතා ගන්නට අපට අවසර” යැයි කීවේ ය.
ස්වාමින්වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “ඔබ මා නවතා ගත්තත්, මා ඔබේ ආහාර බුදින්නේ නැත. එහෙත් ඔබ දවන යාග පූජාවක් සූදානම් කරන්නේ නම්, එය ස්වාමින්වහන්සේට ඔප්පු කරන්නැ” යි කීවේ ය. ඒ ස්වාමින්වහන්සේගේ දූතයා වග මානෝවා නො දත්තේ ය.
ඉන්පසු මානෝවා ස්වාමින්වහන්සේගේ දූතයා විමසමින්, “ඔබේ නම කුමක් ද? ඔබේ වචනය ඉටු වූ කල, අප විසින් ඔබට ගෞරව කරන පිණිස යැ” යි කීවේ ය.
ස්වාමින්වහන්සේගේ දූතයා පිළිතුරු දෙමින්, “නුඹ මගේ නම අසන්නේ මන්ද? එය අපූර්ව යැ” යි පැවසී ය. එවිට, මානෝවා එළු පැටවකු සමඟ ධාන්‍ය පූජාවක් ගෙන, ස්වාමින්වහන්සේට පර්වතය පිට පූජා කළේ ය. එවිට ස්වාමින්වහන්සේ පුදුම දෙයක් කළ සේක. මානෝවා හා ඔහුගේ බිරිඳ බලා සිටියදී, ගිනි දැල්ල පූජාසනයේ සිට ස්වර්ගය දෙසට ඉහළ නැගෙද්දී, ස්වාමින්වහන්සේගේ දූතයා ගිනි දැල්ල තුළ ඉහළ ගියේ ය. ඔවුහු මුහුණ බිමට නමා, වැඳ වැටුණහ. ස්වාමින්වහන්සේගේ දූතයා මානෝවාටත්, ඔහුගේ බිරිඳටත් තවත් පෙනෙන්නට ආවේ නැත. ඒ ස්වාමින්වහන්සේගේ දූතයා වග මානෝවා වටහා ගත්තේ ය.
එවිට මානෝවා, “සැබවින් ම අප මැරේවි. මන්ද අප දෙවියන්වහන්සේ දුටු නිසා!” යි සිය බිරිඳට කීවේ ය.
එහෙත් ඔහුගේ බිරිඳ ඔහුට පිළිතුරු දෙමින්, “අප මරණයට පැමිණවීමේ අදහසක් ස්වාමින්වහන්සේට තිබිණි නම්, උන්වහන්සේ දවන යාග පූජාව හා ධාන්‍ය පූජාව අප අතින් පිළිගන්නේ නැත. මේ හැම දෙයක් අපට පෙන්වන්නේ ද නැත. මෙවර කී දෑ පවසන්නේ ද නැතැ” යි කීවා ය.
එම කාන්තාව පුතකු බිහි කර, ඔහුට සම්සොන් යන නම තැබුවා ය. දරුවා වැඩුණේ ය. ස්වාමින්වහන්සේ ඔහුට ආශිර්වාද කළ සේක. ඔහු, සෝරා හා එෂ්තායොල් අතර මහනේ-දාන්හි සිටියදී, ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ ඔහු පොලඹවන්නට පටන් ගත් සේක.