විනිසුරුවෝ 11

11
1ගිලියාදීය යෙෆ්තා, බලවත් රණශූරයකු වූයේ ය. එහෙත් ඔහු වේශ්‍යාවකගේ පුතෙකි. යෙෆ්තාගේ පියා ගිලියාද් ය. 2ගිලියාද්ගේ බිරිඳ ද ඔහුට දරුවන් බිහි කර දුන්නා ය. ඔවුහු වැඩුණු පසු, යෙෆ්තා පලවා හරිමින්, “අපේ පියාගේ පවුලේ උරුමයෙන් කිසිවක් නුඹට ලැබෙන්නේ නැත. නුඹ වෙනත් ගෑනියකගේ පුත්‍රයා යැ” යි කීහ. 3එබැවින් යෙෆ්තා තම සහෝදරයින් වෙතින් පලා ගොස්, ටෝබ් දේශයේ පදිංචි විය. කමකට නැති වූවෝ රංචුවක් ඔහු වටා රොක් වී, ඔහු සමඟ ගියහ.
4කලකට පසු අම්මොන්වරු ඉශ්‍රායෙලයට එරෙහිව යුද වැදුණහ. 5මෙසේ අම්මොන්වරුන් ඉශ්‍රායෙලයට එරෙහිව යුද වැදුණු කල, ගිලියාද් වැඩිහිටියෝ ටෝබ් දේශයෙන් යෙෆ්තා කැඳවා ගෙනෙනු පිණිස ගියෝ ය. 6ඔවුහු යෙෆ්තාට අඬගසමින්, “එන්න! ඇවිත් අපගේ අණ දෙන්නා වන්න, අප අම්මොන්වරුන් සමඟ යුද්ධ කරන පිණිස යැ” යි කීහ.
7එවිට යෙෆ්තා ඔවුනට පිළිතුරු දෙමින්, “නුඹලා මට වෛර කොට, මගේ පියාගේ නිවසින් මා පන්නා දැමුවේ නැති ද? එසේ නම් නුඹලා කරදරයේ වැටුණු විට දැන් මා සොයා එන්නේ මන්දැ?” යි ඇසී ය.
8ගිලියාද් වැඩිහිටියෝ යෙෆ්තා අමතමින්, “කෙසේ වෙතත්, අප දැන් ඔබ වෙත හැරී ඇත්තේ, ඔබ අප සමඟ අවුත්, අම්මොන්වරුන්ට විරුද්ධ ව සටන් කොට, අපගේ නායකයා වන පිණිසයි. ගිලියාද්හි වෙසෙන හැමගේ නායකයා වන පිණිස යැ” යි කීහ.
9එවිට යෙෆ්තා ඔවුනට පිළිතුරු දෙමින්, “අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට නුඹලා නැවත මා ගෙදර කැඳවාගෙන ගිය කල, ස්වාමින්වහන්සේ ඔවුන් මට යටත් කර දෙන කල, සැබවින් ම මම නුඹලාගේ නායකයා වන්නෙම් දැ?” යි ඇසී ය.
10ගිලියාද් වැඩිහිටියෝ යෙෆ්තාට පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අප අතරේ සාක්ෂිකරුවාණෝ ය. අපි සැබවින් ම ඔබ කී ලෙස කරන්නෙමු” යි කීහ. 11එබැවින් යෙෆ්තා, ගිලියාද් වැඩිහිටියන් සමඟ ගියේ ය. ජනයා ඔවුන්ගේ නායකයා හා සෙන්පතියා කොට ඔහු පත් කර ගත්හ. යෙෆ්තා මිස්පාහි දී තම සියලු වචන ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පැවසී ය.
12ඉන්පසු යෙෆ්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකරුවන් යවමින්, “මගේ රටට එරෙහිව යුද්ධ කරන්නට නුඹ මා වෙත ආවේ මාත්, නුඹත් අතර කවර ආරවුලක් නිසා දැ?” යි අසා යැවී ය.
13අම්මොන්වරුන්ගේ රජු යෙෆ්තාගේ පණිවුඩකරුවන්ට පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්, ඊජිප්තුවේ සිට එද්දී අර්ණොන් සිට යබ්බොක් දක්වා එක දිගට යොර්දාන් දක්වා මගේ දේශය අල්ලාගෙන ඇත. දැන් සමාදානයෙන් එය සමථයකට පත් කරන්නැ” යි කීවේ ය.
14යෙෆ්තා, අම්මොන්වරුන්ගේ රජු වෙත යළි පණිවුඩකරුවන් යවමින්, 15මෙසේ දැන්වී ය.
“යෙෆ්තා මෙසේ පවසයි: මෝවබ් දේශය හෝ අම්මොන්වරුන්ගේ දේශය, ඉශ්‍රායෙල් අල්ලා ගත්තේ නැත. 16ඊජිප්තුවේ සිට එන කල, ඉශ්‍රායෙල්වරු රතු මුහුද දක්වා පාළුකරය ඔස්සේ අවුත්, කාදෙෂ් වෙත පැමිණියහ. 17ඉන්පසු ඉශ්‍රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවුඩකරුවන් යවමින්, ‘ඔබේ රට මැදින් යන්නට අපට අවසර දෙන්නැ’ යි ඉල්ලූහ. එහෙත්, ඒදොම් රජු ඊට සවන් දුන්නේ නැත. ඔවුහු මෝවබ් රජු වෙත ද පණිවුඩ යැවූහ. ඔහු ද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. එබැවින් ඉශ්‍රායෙල් කාදෙෂ්හි නැවතී සිටියේ ය.
18“ඊළඟට ඔවුහු පාළුකරය ඔස්සේ ගමන් කර, ඒදොම් දේශය හා මෝවබ් දේශය වටා ගමන් කර, අර්ණොන් අනෙක් පැත්තේ කඳවුරු ගැසී ය. ඔවුන් මෝවබ් රටේ නැගෙනහිර පැත්තට පැමිණි නමුදු, මෝවබ් සීමාවට ඇතුළු වූයේ නැත. මන්ද අර්ණොන්, මෝවබ් දේශ සීමාවයි.
19“ඉන්පසු ඉශ්‍රායෙල්වරු හෙෂ්බෝන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් වෙත පණිවුඩකරුවන් පිටත් කර යවමින්, ‘අපේ රටට ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර දෙන්නැ’ යි කීහ. 20එහෙත් සීහොන් තම දේශය ඔස්සේ යෑම ගැන, ඉශ්‍රායෙල් වෙත විශ්වාසය තැබුවේ නැත. එබැවින් ඔහු තම සේනා රැස් කරවා, යහස්හි කඳවුරු බැඳ, ඉශ්‍රායෙල් සමඟ සටන් වැදුණේ ය.
21“එවිට, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සීහොන් ද ඔහුගේ මුළු සේනාව ද ඉශ්‍රායෙල් අතට දුන් සේක. ඉශ්‍රායෙල් ඔවුන් පැරදවී ය. මෙසේ ඉශ්‍රායෙල් එරට පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ මුළු දේශය අත්කර ගත්හ. 22මෙසේ අර්ණොන් සිට යබ්බොක් දක්වා ද කාන්තාරයේ සිට යොර්දාන් දක්වා ද අමෝරිවරුන්ගේ මුළු පළාත ඔවුහු අත්කර ගත්හ.
23“එබැවින් දැන්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා වන ඉශ්‍රායෙල්ගේ පලප්‍රයෝජනය උදෙසා අමෝරිවරුන් පලවා හැර තිබියදී, ඔවුන් සතු තැන ගන්න ද ඔබේ අදහස? 24ඔබේ දෙවියන් වන කෙමොෂ් ඔබට උරුම කර ගන්නට දෙන දෑ ඔබ උරුම කර ගන්නේ නැති ද? එපරිදි අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ජය ලබා දෙන දෑ අපිත් උරුම කර ගන්නෙමු. 25සිප්පෝර්ගේ පුත්, මෝවබ්හි රජු වූ බාලාක්ටත් වඩා ඔබ උසස් ද? ඔහු කෙදිනක හෝ ඉශ්‍රායෙල් හා කලහ කර ගත්තා ද? ඔවුන් හා සටන් වැදුණා ද? 26හෙෂ්බෝන්හි ද ඒ වටා වූ ගම්මානවල ද අරෝයෙර්හි ද ඒ වටා වූ ගම්මානවල ද අර්ණොන් ඉවුරේ සියලු නගරවල ද ඉශ්‍රායෙල් වාසය කරන්නේ අවුරුදු තුන්සියයක සිට ය. ඒ කාලය තුළ නුඹලා ඒවා ආපසු ලබා නො ගත්තේ ඇයි? 27මා ඔබට වරදක් කර නැත. මට විරුද්ධ ව යුද්ධ වැදීමෙන්, මට වරද කරන්නේ ඔබයි. විනිශ්චයකරුවාණන් වන ස්වාමින්වහන්සේ ම අද දවසේ ඉශ්‍රායෙල්වරුන් හා අම්මොන්වරුන් අතරේ විනිශ්චය කරන සේක්වා!”
28කෙසේ වෙතත් යෙෆ්තා විසින් එවන ලද පණිවුඩය අම්මොන් රජු සැලකුවේ නැත.
29ඉන්පසු ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ යෙෆ්තා පිට පැමිණි සේක. ඔහු ගිලියාද් හා මනස්සේ හරහා ගිලියාද්හි මිස්පේ වෙත ගියේ ය. ගිලියාද්හි මිස්පේහි සිට ඔහු අම්මොන්වරුන්ට එරෙහිව ඉදිරියට ගියේ ය. 30යෙෆ්තා ස්වාමින්වහන්සේට බාරයක් වෙමින්, “ඔබවහන්සේ අම්මොන්වරුන් මගේ අතට යටත් කර දෙන සේක් නම්, 31අම්මොන්වරුන්ගෙන් ජය ගෙන මා ආපසු එන කල, මා හමුවට මගේ නිවසේ දොරින් පිටතට එන කවුරු වුවත්#11:31 කවුරු වුවත් හෝ කුමක් වුවත් ස්වාමින්වහන්සේට ම වන්නේ ය. දවන යාග පූජාවක් කොට මම එය ඔප්පු කරන්නෙමි” යි කීවේ ය.
32ඉන්පසු යෙෆ්තා අම්මොන්වරුන්ට එරෙහිව සටන් වදින්නට එතෙර ව ගියේ ය. ස්වාමින්වහන්සේ ඔහුගේ අත්වලට ඔවුන් යටත් කර දුන් සේක. 33ඔහු ආබෙල්-කෙරාමීම් තෙක් ඈතට, අරෝයෙර් පටන් මින්නීත් අවට පෙදෙස දක්වා වූ නගර විස්සක් මහ වැනසීමකින් යටත් කළේ ය. මෙසේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ අම්මොන්වරු යටත් කරන ලදහ.
34යෙෆ්තා, මිස්පාහි තමාගේ නිවසට ආපසු ආ කල, මෙන්න රබන් වයමින් ද නටමින් ද ඔහු හමුවට පිටතට ආවේ ඔහුගේ ම දියණියයි. ඈ ඔහුගේ එක ම දරුවා ය. ඇය මිස ඔහුට අන් පුතකු හෝ දුවක හෝ නො වී ය. 35ඔහු, ඇය දුටු කල තම හැඳිවත ඉරා ගනිමින්, “අහෝ මගේ දුවේ! නුඹ මා පහළට ම දැමුවා. මගේ මහ සිත් තැවුලට හේතුව නුඹයි. මන්ද මා මුව පුරා ස්වාමින්වහන්සේට කතා කළා. මගේ බාරය මට ආපසු ගන්නට බැහැ” යි කීවේ ය.
36එවිට ඈ පිළිතුරු දෙමින්, “මා පියතුමනි, ඔබ, ස්වාමින්වහන්සේට ඔබගේ මුව විවර කර දුන් වචනය ලෙස මට කරන්න. ස්වාමින්වහන්සේ ඔබ උදෙසා ඔබේ සතුරන් වූ අම්මොන්වරුන්ගෙන් පළිය ගෙන ඇත” යි කී ඈ, 37තවදුරටත් ඇගේ පියා අමතමින්, “ඒත් මේ එක ම වරය පමණක් මට දෙන්න. මටත්, මගේ මිතුරියනටත් කඳුවල ඔබ මොබ ඇවිද, මා කන්‍යාවියක බැවින්, ඒ ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දෙන්නැ” යි ඉල්ලුවා ය.
38“යන්නැ” යි පැවසූ ඔහු දෙමසක් සඳහා එසේ යෑමට ඇයට ඉඩ දුන්නේ ය. ඈ, තම මිතුරියන් කැටිව, කඳුවලට ගොස්, ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. 39ඒ දෙමසට පසු ඈ තම පියා වෙත ආපසු ආවා ය. ඔහු තමා වූ බාරය පරිදි ඇය ගැන කටයුතු කළේ ය. ඈ කන්‍යාවියක් ව සිටියා ය.
එයින් ඉශ්‍රායෙල්හි සිරිතක් ඇති විය. 40එනම්, යොවුන් ඉශ්‍රායෙල් ළඳුන් හැම වසරක ම ගිලියාදීය යෙෆ්තාගේ දියණිය සමරා වැලපීමට දවස් හතරක් පිටත් ව යෑම ය.

දැනට තෝරාගෙන ඇත:

විනිසුරුවෝ 11: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න