විනිසුරුවෝ 11:30-40
විනිසුරුවෝ 11:30-40 SCV
යෙෆ්තා ස්වාමින්වහන්සේට බාරයක් වෙමින්, “ඔබවහන්සේ අම්මොන්වරුන් මගේ අතට යටත් කර දෙන සේක් නම්, අම්මොන්වරුන්ගෙන් ජය ගෙන මා ආපසු එන කල, මා හමුවට මගේ නිවසේ දොරින් පිටතට එන කවුරු වුවත් ස්වාමින්වහන්සේට ම වන්නේ ය. දවන යාග පූජාවක් කොට මම එය ඔප්පු කරන්නෙමි” යි කීවේ ය. ඉන්පසු යෙෆ්තා අම්මොන්වරුන්ට එරෙහිව සටන් වදින්නට එතෙර ව ගියේ ය. ස්වාමින්වහන්සේ ඔහුගේ අත්වලට ඔවුන් යටත් කර දුන් සේක. ඔහු ආබෙල්-කෙරාමීම් තෙක් ඈතට, අරෝයෙර් පටන් මින්නීත් අවට පෙදෙස දක්වා වූ නගර විස්සක් මහ වැනසීමකින් යටත් කළේ ය. මෙසේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ අම්මොන්වරු යටත් කරන ලදහ. යෙෆ්තා, මිස්පාහි තමාගේ නිවසට ආපසු ආ කල, මෙන්න රබන් වයමින් ද නටමින් ද ඔහු හමුවට පිටතට ආවේ ඔහුගේ ම දියණියයි. ඈ ඔහුගේ එක ම දරුවා ය. ඇය මිස ඔහුට අන් පුතකු හෝ දුවක හෝ නො වී ය. ඔහු, ඇය දුටු කල තම හැඳිවත ඉරා ගනිමින්, “අහෝ මගේ දුවේ! නුඹ මා පහළට ම දැමුවා. මගේ මහ සිත් තැවුලට හේතුව නුඹයි. මන්ද මා මුව පුරා ස්වාමින්වහන්සේට කතා කළා. මගේ බාරය මට ආපසු ගන්නට බැහැ” යි කීවේ ය. එවිට ඈ පිළිතුරු දෙමින්, “මා පියතුමනි, ඔබ, ස්වාමින්වහන්සේට ඔබගේ මුව විවර කර දුන් වචනය ලෙස මට කරන්න. ස්වාමින්වහන්සේ ඔබ උදෙසා ඔබේ සතුරන් වූ අම්මොන්වරුන්ගෙන් පළිය ගෙන ඇත” යි කී ඈ, තවදුරටත් ඇගේ පියා අමතමින්, “ඒත් මේ එක ම වරය පමණක් මට දෙන්න. මටත්, මගේ මිතුරියනටත් කඳුවල ඔබ මොබ ඇවිද, මා කන්‍යාවියක බැවින්, ඒ ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දෙන්නැ” යි ඉල්ලුවා ය. “යන්නැ” යි පැවසූ ඔහු දෙමසක් සඳහා එසේ යෑමට ඇයට ඉඩ දුන්නේ ය. ඈ, තම මිතුරියන් කැටිව, කඳුවලට ගොස්, ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. ඒ දෙමසට පසු ඈ තම පියා වෙත ආපසු ආවා ය. ඔහු තමා වූ බාරය පරිදි ඇය ගැන කටයුතු කළේ ය. ඈ කන්‍යාවියක් ව සිටියා ය. එයින් ඉශ්‍රායෙල්හි සිරිතක් ඇති විය. එනම්, යොවුන් ඉශ්‍රායෙල් ළඳුන් හැම වසරක ම ගිලියාදීය යෙෆ්තාගේ දියණිය සමරා වැලපීමට දවස් හතරක් පිටත් ව යෑම ය.

