විනිසුරුවෝ 11:30-34
විනිසුරුවෝ 11:30-34 SCV
යෙෆ්තා ස්වාමින්වහන්සේට බාරයක් වෙමින්, “ඔබවහන්සේ අම්මොන්වරුන් මගේ අතට යටත් කර දෙන සේක් නම්, අම්මොන්වරුන්ගෙන් ජය ගෙන මා ආපසු එන කල, මා හමුවට මගේ නිවසේ දොරින් පිටතට එන කවුරු වුවත් ස්වාමින්වහන්සේට ම වන්නේ ය. දවන යාග පූජාවක් කොට මම එය ඔප්පු කරන්නෙමි” යි කීවේ ය. ඉන්පසු යෙෆ්තා අම්මොන්වරුන්ට එරෙහිව සටන් වදින්නට එතෙර ව ගියේ ය. ස්වාමින්වහන්සේ ඔහුගේ අත්වලට ඔවුන් යටත් කර දුන් සේක. ඔහු ආබෙල්-කෙරාමීම් තෙක් ඈතට, අරෝයෙර් පටන් මින්නීත් අවට පෙදෙස දක්වා වූ නගර විස්සක් මහ වැනසීමකින් යටත් කළේ ය. මෙසේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ අම්මොන්වරු යටත් කරන ලදහ. යෙෆ්තා, මිස්පාහි තමාගේ නිවසට ආපසු ආ කල, මෙන්න රබන් වයමින් ද නටමින් ද ඔහු හමුවට පිටතට ආවේ ඔහුගේ ම දියණියයි. ඈ ඔහුගේ එක ම දරුවා ය. ඇය මිස ඔහුට අන් පුතකු හෝ දුවක හෝ නො වී ය.

