“ඊළඟට ඔවුහු පාළුකරය ඔස්සේ ගමන් කර, ඒදොම් දේශය හා මෝවබ් දේශය වටා ගමන් කර, අර්ණොන් අනෙක් පැත්තේ කඳවුරු ගැසී ය. ඔවුන් මෝවබ් රටේ නැගෙනහිර පැත්තට පැමිණි නමුදු, මෝවබ් සීමාවට ඇතුළු වූයේ නැත. මන්ද අර්ණොන්, මෝවබ් දේශ සීමාවයි.
“ඉන්පසු ඉශ්‍රායෙල්වරු හෙෂ්බෝන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් වෙත පණිවුඩකරුවන් පිටත් කර යවමින්, ‘අපේ රටට ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර දෙන්නැ’ යි කීහ. එහෙත් සීහොන් තම දේශය ඔස්සේ යෑම ගැන, ඉශ්‍රායෙල් වෙත විශ්වාසය තැබුවේ නැත. එබැවින් ඔහු තම සේනා රැස් කරවා, යහස්හි කඳවුරු බැඳ, ඉශ්‍රායෙල් සමඟ සටන් වැදුණේ ය.
“එවිට, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සීහොන් ද ඔහුගේ මුළු සේනාව ද ඉශ්‍රායෙල් අතට දුන් සේක. ඉශ්‍රායෙල් ඔවුන් පැරදවී ය. මෙසේ ඉශ්‍රායෙල් එරට පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ මුළු දේශය අත්කර ගත්හ. මෙසේ අර්ණොන් සිට යබ්බොක් දක්වා ද කාන්තාරයේ සිට යොර්දාන් දක්වා ද අමෝරිවරුන්ගේ මුළු පළාත ඔවුහු අත්කර ගත්හ.
“එබැවින් දැන්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා වන ඉශ්‍රායෙල්ගේ පලප්‍රයෝජනය උදෙසා අමෝරිවරුන් පලවා හැර තිබියදී, ඔවුන් සතු තැන ගන්න ද ඔබේ අදහස? ඔබේ දෙවියන් වන කෙමොෂ් ඔබට උරුම කර ගන්නට දෙන දෑ ඔබ උරුම කර ගන්නේ නැති ද? එපරිදි අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ජය ලබා දෙන දෑ අපිත් උරුම කර ගන්නෙමු. සිප්පෝර්ගේ පුත්, මෝවබ්හි රජු වූ බාලාක්ටත් වඩා ඔබ උසස් ද? ඔහු කෙදිනක හෝ ඉශ්‍රායෙල් හා කලහ කර ගත්තා ද? ඔවුන් හා සටන් වැදුණා ද? හෙෂ්බෝන්හි ද ඒ වටා වූ ගම්මානවල ද අරෝයෙර්හි ද ඒ වටා වූ ගම්මානවල ද අර්ණොන් ඉවුරේ සියලු නගරවල ද ඉශ්‍රායෙල් වාසය කරන්නේ අවුරුදු තුන්සියයක සිට ය. ඒ කාලය තුළ නුඹලා ඒවා ආපසු ලබා නො ගත්තේ ඇයි? මා ඔබට වරදක් කර නැත. මට විරුද්ධ ව යුද්ධ වැදීමෙන්, මට වරද කරන්නේ ඔබයි. විනිශ්චයකරුවාණන් වන ස්වාමින්වහන්සේ ම අද දවසේ ඉශ්‍රායෙල්වරුන් හා අම්මොන්වරුන් අතරේ විනිශ්චය කරන සේක්වා!”
කෙසේ වෙතත් යෙෆ්තා විසින් එවන ලද පණිවුඩය අම්මොන් රජු සැලකුවේ නැත.
ඉන්පසු ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ යෙෆ්තා පිට පැමිණි සේක. ඔහු ගිලියාද් හා මනස්සේ හරහා ගිලියාද්හි මිස්පේ වෙත ගියේ ය. ගිලියාද්හි මිස්පේහි සිට ඔහු අම්මොන්වරුන්ට එරෙහිව ඉදිරියට ගියේ ය. යෙෆ්තා ස්වාමින්වහන්සේට බාරයක් වෙමින්, “ඔබවහන්සේ අම්මොන්වරුන් මගේ අතට යටත් කර දෙන සේක් නම්, අම්මොන්වරුන්ගෙන් ජය ගෙන මා ආපසු එන කල, මා හමුවට මගේ නිවසේ දොරින් පිටතට එන කවුරු වුවත් ස්වාමින්වහන්සේට ම වන්නේ ය. දවන යාග පූජාවක් කොට මම එය ඔප්පු කරන්නෙමි” යි කීවේ ය.
ඉන්පසු යෙෆ්තා අම්මොන්වරුන්ට එරෙහිව සටන් වදින්නට එතෙර ව ගියේ ය. ස්වාමින්වහන්සේ ඔහුගේ අත්වලට ඔවුන් යටත් කර දුන් සේක. ඔහු ආබෙල්-කෙරාමීම් තෙක් ඈතට, අරෝයෙර් පටන් මින්නීත් අවට පෙදෙස දක්වා වූ නගර විස්සක් මහ වැනසීමකින් යටත් කළේ ය. මෙසේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියේ අම්මොන්වරු යටත් කරන ලදහ.
යෙෆ්තා, මිස්පාහි තමාගේ නිවසට ආපසු ආ කල, මෙන්න රබන් වයමින් ද නටමින් ද ඔහු හමුවට පිටතට ආවේ ඔහුගේ ම දියණියයි. ඈ ඔහුගේ එක ම දරුවා ය. ඇය මිස ඔහුට අන් පුතකු හෝ දුවක හෝ නො වී ය. ඔහු, ඇය දුටු කල තම හැඳිවත ඉරා ගනිමින්, “අහෝ මගේ දුවේ! නුඹ මා පහළට ම දැමුවා. මගේ මහ සිත් තැවුලට හේතුව නුඹයි. මන්ද මා මුව පුරා ස්වාමින්වහන්සේට කතා කළා. මගේ බාරය මට ආපසු ගන්නට බැහැ” යි කීවේ ය.
එවිට ඈ පිළිතුරු දෙමින්, “මා පියතුමනි, ඔබ, ස්වාමින්වහන්සේට ඔබගේ මුව විවර කර දුන් වචනය ලෙස මට කරන්න. ස්වාමින්වහන්සේ ඔබ උදෙසා ඔබේ සතුරන් වූ අම්මොන්වරුන්ගෙන් පළිය ගෙන ඇත” යි කී ඈ, තවදුරටත් ඇගේ පියා අමතමින්, “ඒත් මේ එක ම වරය පමණක් මට දෙන්න. මටත්, මගේ මිතුරියනටත් කඳුවල ඔබ මොබ ඇවිද, මා කන්‍යාවියක බැවින්, ඒ ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දෙන්නැ” යි ඉල්ලුවා ය.
“යන්නැ” යි පැවසූ ඔහු දෙමසක් සඳහා එසේ යෑමට ඇයට ඉඩ දුන්නේ ය. ඈ, තම මිතුරියන් කැටිව, කඳුවලට ගොස්, ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. ඒ දෙමසට පසු ඈ තම පියා වෙත ආපසු ආවා ය. ඔහු තමා වූ බාරය පරිදි ඇය ගැන කටයුතු කළේ ය. ඈ කන්‍යාවියක් ව සිටියා ය.
එයින් ඉශ්‍රායෙල්හි සිරිතක් ඇති විය. එනම්, යොවුන් ඉශ්‍රායෙල් ළඳුන් හැම වසරක ම ගිලියාදීය යෙෆ්තාගේ දියණිය සමරා වැලපීමට දවස් හතරක් පිටත් ව යෑම ය.