විනිසුරුවෝ 11:1-28

විනිසුරුවෝ 11:1-28 SCV

ගිලියාදීය යෙෆ්තා, බලවත් රණශූරයකු වූයේ ය. එහෙත් ඔහු වේශ්‍යාවකගේ පුතෙකි. යෙෆ්තාගේ පියා ගිලියාද් ය. ගිලියාද්ගේ බිරිඳ ද ඔහුට දරුවන් බිහි කර දුන්නා ය. ඔවුහු වැඩුණු පසු, යෙෆ්තා පලවා හරිමින්, “අපේ පියාගේ පවුලේ උරුමයෙන් කිසිවක් නුඹට ලැබෙන්නේ නැත. නුඹ වෙනත් ගෑනියකගේ පුත්‍රයා යැ” යි කීහ. එබැවින් යෙෆ්තා තම සහෝදරයින් වෙතින් පලා ගොස්, ටෝබ් දේශයේ පදිංචි විය. කමකට නැති වූවෝ රංචුවක් ඔහු වටා රොක් වී, ඔහු සමඟ ගියහ. කලකට පසු අම්මොන්වරු ඉශ්‍රායෙලයට එරෙහිව යුද වැදුණහ. මෙසේ අම්මොන්වරුන් ඉශ්‍රායෙලයට එරෙහිව යුද වැදුණු කල, ගිලියාද් වැඩිහිටියෝ ටෝබ් දේශයෙන් යෙෆ්තා කැඳවා ගෙනෙනු පිණිස ගියෝ ය. ඔවුහු යෙෆ්තාට අඬගසමින්, “එන්න! ඇවිත් අපගේ අණ දෙන්නා වන්න, අප අම්මොන්වරුන් සමඟ යුද්ධ කරන පිණිස යැ” යි කීහ. එවිට යෙෆ්තා ඔවුනට පිළිතුරු දෙමින්, “නුඹලා මට වෛර කොට, මගේ පියාගේ නිවසින් මා පන්නා දැමුවේ නැති ද? එසේ නම් නුඹලා කරදරයේ වැටුණු විට දැන් මා සොයා එන්නේ මන්දැ?” යි ඇසී ය. ගිලියාද් වැඩිහිටියෝ යෙෆ්තා අමතමින්, “කෙසේ වෙතත්, අප දැන් ඔබ වෙත හැරී ඇත්තේ, ඔබ අප සමඟ අවුත්, අම්මොන්වරුන්ට විරුද්ධ ව සටන් කොට, අපගේ නායකයා වන පිණිසයි. ගිලියාද්හි වෙසෙන හැමගේ නායකයා වන පිණිස යැ” යි කීහ. එවිට යෙෆ්තා ඔවුනට පිළිතුරු දෙමින්, “අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට නුඹලා නැවත මා ගෙදර කැඳවාගෙන ගිය කල, ස්වාමින්වහන්සේ ඔවුන් මට යටත් කර දෙන කල, සැබවින් ම මම නුඹලාගේ නායකයා වන්නෙම් දැ?” යි ඇසී ය. ගිලියාද් වැඩිහිටියෝ යෙෆ්තාට පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ අප අතරේ සාක්ෂිකරුවාණෝ ය. අපි සැබවින් ම ඔබ කී ලෙස කරන්නෙමු” යි කීහ. එබැවින් යෙෆ්තා, ගිලියාද් වැඩිහිටියන් සමඟ ගියේ ය. ජනයා ඔවුන්ගේ නායකයා හා සෙන්පතියා කොට ඔහු පත් කර ගත්හ. යෙෆ්තා මිස්පාහි දී තම සියලු වචන ස්වාමින්වහන්සේ ඉදිරියෙහි පැවසී ය. ඉන්පසු යෙෆ්තා අම්මොන්වරුන්ගේ රජු වෙත පණිවුඩකරුවන් යවමින්, “මගේ රටට එරෙහිව යුද්ධ කරන්නට නුඹ මා වෙත ආවේ මාත්, නුඹත් අතර කවර ආරවුලක් නිසා දැ?” යි අසා යැවී ය. අම්මොන්වරුන්ගේ රජු යෙෆ්තාගේ පණිවුඩකරුවන්ට පිළිතුරු දෙමින්, “ඉශ්‍රායෙල්, ඊජිප්තුවේ සිට එද්දී අර්ණොන් සිට යබ්බොක් දක්වා එක දිගට යොර්දාන් දක්වා මගේ දේශය අල්ලාගෙන ඇත. දැන් සමාදානයෙන් එය සමථයකට පත් කරන්නැ” යි කීවේ ය. යෙෆ්තා, අම්මොන්වරුන්ගේ රජු වෙත යළි පණිවුඩකරුවන් යවමින්, මෙසේ දැන්වී ය. “යෙෆ්තා මෙසේ පවසයි: මෝවබ් දේශය හෝ අම්මොන්වරුන්ගේ දේශය, ඉශ්‍රායෙල් අල්ලා ගත්තේ නැත. ඊජිප්තුවේ සිට එන කල, ඉශ්‍රායෙල්වරු රතු මුහුද දක්වා පාළුකරය ඔස්සේ අවුත්, කාදෙෂ් වෙත පැමිණියහ. ඉන්පසු ඉශ්‍රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවුඩකරුවන් යවමින්, ‘ඔබේ රට මැදින් යන්නට අපට අවසර දෙන්නැ’ යි ඉල්ලූහ. එහෙත්, ඒදොම් රජු ඊට සවන් දුන්නේ නැත. ඔවුහු මෝවබ් රජු වෙත ද පණිවුඩ යැවූහ. ඔහු ද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. එබැවින් ඉශ්‍රායෙල් කාදෙෂ්හි නැවතී සිටියේ ය. “ඊළඟට ඔවුහු පාළුකරය ඔස්සේ ගමන් කර, ඒදොම් දේශය හා මෝවබ් දේශය වටා ගමන් කර, අර්ණොන් අනෙක් පැත්තේ කඳවුරු ගැසී ය. ඔවුන් මෝවබ් රටේ නැගෙනහිර පැත්තට පැමිණි නමුදු, මෝවබ් සීමාවට ඇතුළු වූයේ නැත. මන්ද අර්ණොන්, මෝවබ් දේශ සීමාවයි. “ඉන්පසු ඉශ්‍රායෙල්වරු හෙෂ්බෝන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් වෙත පණිවුඩකරුවන් පිටත් කර යවමින්, ‘අපේ රටට ඔබේ දේශය මැදින් යන්නට අපට අවසර දෙන්නැ’ යි කීහ. එහෙත් සීහොන් තම දේශය ඔස්සේ යෑම ගැන, ඉශ්‍රායෙල් වෙත විශ්වාසය තැබුවේ නැත. එබැවින් ඔහු තම සේනා රැස් කරවා, යහස්හි කඳවුරු බැඳ, ඉශ්‍රායෙල් සමඟ සටන් වැදුණේ ය. “එවිට, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සීහොන් ද ඔහුගේ මුළු සේනාව ද ඉශ්‍රායෙල් අතට දුන් සේක. ඉශ්‍රායෙල් ඔවුන් පැරදවී ය. මෙසේ ඉශ්‍රායෙල් එරට පදිංචි ව සිටි අමෝරිවරුන්ගේ මුළු දේශය අත්කර ගත්හ. මෙසේ අර්ණොන් සිට යබ්බොක් දක්වා ද කාන්තාරයේ සිට යොර්දාන් දක්වා ද අමෝරිවරුන්ගේ මුළු පළාත ඔවුහු අත්කර ගත්හ. “එබැවින් දැන්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය ජනයා වන ඉශ්‍රායෙල්ගේ පලප්‍රයෝජනය උදෙසා අමෝරිවරුන් පලවා හැර තිබියදී, ඔවුන් සතු තැන ගන්න ද ඔබේ අදහස? ඔබේ දෙවියන් වන කෙමොෂ් ඔබට උරුම කර ගන්නට දෙන දෑ ඔබ උරුම කර ගන්නේ නැති ද? එපරිදි අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අපට ජය ලබා දෙන දෑ අපිත් උරුම කර ගන්නෙමු. සිප්පෝර්ගේ පුත්, මෝවබ්හි රජු වූ බාලාක්ටත් වඩා ඔබ උසස් ද? ඔහු කෙදිනක හෝ ඉශ්‍රායෙල් හා කලහ කර ගත්තා ද? ඔවුන් හා සටන් වැදුණා ද? හෙෂ්බෝන්හි ද ඒ වටා වූ ගම්මානවල ද අරෝයෙර්හි ද ඒ වටා වූ ගම්මානවල ද අර්ණොන් ඉවුරේ සියලු නගරවල ද ඉශ්‍රායෙල් වාසය කරන්නේ අවුරුදු තුන්සියයක සිට ය. ඒ කාලය තුළ නුඹලා ඒවා ආපසු ලබා නො ගත්තේ ඇයි? මා ඔබට වරදක් කර නැත. මට විරුද්ධ ව යුද්ධ වැදීමෙන්, මට වරද කරන්නේ ඔබයි. විනිශ්චයකරුවාණන් වන ස්වාමින්වහන්සේ ම අද දවසේ ඉශ්‍රායෙල්වරුන් හා අම්මොන්වරුන් අතරේ විනිශ්චය කරන සේක්වා!” කෙසේ වෙතත් යෙෆ්තා විසින් එවන ලද පණිවුඩය අම්මොන් රජු සැලකුවේ නැත.

විනිසුරුවෝ 11:1-28 සඳහා වීඩියෝව

විනිසුරුවෝ 11:1-28 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය