විනිසුරුවෝ 1:23-31

විනිසුරුවෝ 1:23-31 SCV

යෝසෙප් වංශිකයෝ ඔත්තු බලන පිණිස බෙතෙල් වෙත මිනිසුන් යැවූහ. කලින් එපුරවරයේ නාමය වූයේ ලූස් ය. නගරයෙන් පිටතට මිනිසකු එනු දුටු ඔත්තුකරුවෝ, ඔහුට කතා කොට, “නගරයට ඇතුළු වන හැටි අපට පෙන්වන්න. අපිත් ඔබට කරුණාව දක්වන්නෙමු” යි කීහ. ඔහු ඔවුන්ට නගරය තුළට මං පෙන්වී ය. ඔවුහු එහි වැද, නගරය ම කඩු ගෑ නමුදු, ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් යන්නට හැරියහ. ඒ මිනිසා හිත්තිවරුන්ගේ දේශයට ගොස්, නුවරක් ගොඩ නගා, ඊට ලූස් යැයි නම් තැබී ය. මේ දක්වාත් එහි නම එය ම ය. එහෙත්, මනස්සේ ජනයා බෙත්-ෂෙයාන් සහ එහි ගම්මානවල ද තානක් සහ එහි ගම්මානවල ද පදිංචිකරුවන් හෝ දෝර් සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ ඉබ්ලෙයාම් සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ මෙගිද්දෝ සහ එහි ගම්මානවල පදිංචිකරුවන් හෝ පලවා හැරියේ නැත. එබැවින් කානානිවරු දිගට ම දේශයෙහි වාසය කරන්නට අදිටන් කර ගෙන සිටියහ. ඉශ්‍රායෙල් වඩා බලවත් වූ කල, ඔවුහු කානානිවරුන් බර වැඩෙහි යෙදවූහ. එහෙත් සහමුලින් ම ඔවුන් පන්නා දැමුවේ නැත. එප්‍රායිම් ද ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා දැමුවේ නැත. එබැවින් කානානිවරු ඔවුන් සමඟ ගෙසෙර්හි වාසය කළහ. සාබුලොන් ද කිට්රොන්හි වාසය කළවුන් හා නහලොල්හි වාසය කළවුන් පලවා හැරියේ නැත. එබැවින් කානානිවරු ඔවුන් අතරෙහි වෙසෙමින්, බර වැඩට යටත් වූහ. ආෂෙර් ද අක්කෝ වාසීන් හෝ සීදොන් වාසීන් හෝ අහ්ලාබ් වාසීන් හෝ අක්සීබ් හෝ හෙල්බා හෝ අෆේක් හෝ රෙහොබ් වාසීන් පන්නා දැමුවේ නැත.