යාකොබ් 5:7-20

යාකොබ් 5:7-20 SCV

එබැවින් සහෝදරයිනි, ස්වාමින්වහන්සේ පැමිණෙන තෙක් ඉවසීමෙන් බලා සිටින්න. ගොවියකු පොළොවෙන් අනගි අස්වනු හට ගැන්වෙනු බලා, ඊට පළමු වැස්ස හා අවසන් වැස්ස ලැබෙන තුරු ඉවසීමෙන් සිටින හැටි බලන්න. ඔබත් එසේ ඉවසීමෙන් සිටින්න. ඔබගේ සිත් ස්ථිර කර ගන්න. මන්ද ස්වාමින්වහන්සේගේ පැමිණීම අත ළඟ ය. සහෝදරයිනි ඔබ විනිශ්චය කරනු නො ලබන පිණිස, එකිනෙකාට එරෙහිව මැසිවිලි නො නගන්න. මෙන්න! විනිසුරුවාණෝ දොරකඩ ම සිටින සේක! සහෝදරයිනි, දුක් පීඩා හමුවේ ඉවසීමේ ආදර්ශයක් ලෙස ස්වාමින්වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරුන් ගැන සිතා බලන්න. මෙන්න! අප සිතන්නේ ස්ථිර ව රැඳී සිටි අය භාග්‍යවත් ය කියායි. යෝබ්ගේ ස්ථිර භාවය ගැන ඔබ අසා ඇත. අවසානයේදී ස්වාමින්වහන්සේගේ තීරණය ද ඔබ දුටුවෙහි ය. ස්වාමින්වහන්සේ අනුකම්පාවෙන් සහ දයාබරකමින් පූර්ණ ය. සියල්ලට ම වඩා මා සහෝදරයිනි, ඔබ වරදට පත් කරනු නො ලබන පිණිස, අහස ගැන, පොළොව ගැන හෝ අන් කවර දෙයක් ගැන නො දිවුරන්න. “ඔව්” කිව යුතු තැන ඔව් කියා ද “නැත” කිව යුතු තැන නැත කියා ද පවසන්න. ඔබගෙන් යමකු පීඩා විඳී ද? ඔහු යාච්ඤා කරත්වා. යමකු සොම්නස් වේ ද? ඔහු පැසසුම් ගී ගයත්වා. ඔබගෙන් යමකු රෝගී ව සිටී ද? ඔහු සභා-මූලිකයන් කැඳවා යැවූ කල, ඔවුහු ස්වාමින්වහන්සේගේ නාමයෙන් තෙලින් ඔහු ආලේප කර, ඔහු උදෙසා යාච්ඤා කරත්වා. ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගී තැනැත්තා සුවය ලබයි; ස්වාමින්වහන්සේ ඔහු නැගිටුවන සේක. ඔහු පව් කර තිබුණේ නම් ඒවා කමා කෙරේ. එබැවින් සුවය ලැබෙන පිණිස එකිනෙකාට තම පාප කියා දී එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයකුගේ යාච්ඤාව, මහත් බලයෙන් හා ක්‍රියාකාරිත්වයෙන් යුක්ත ය. එලියා අප හා සමාන මිනිසෙකි. වැසි නො වසින ලෙස, ඔහු මහත් ඕනෑකමින් යාච්ඤා කළෙන්, තුන් අවුරුදු හය මසක් පොළොවට වැසි වැටුණේ නැත. පසුව ඔහු නැවත යාච්ඤා කළේ ය. එවිට අහසින් වැසි වැස්සේ ය; පොළොවෙන් එහි පලදාව හට ගත්තේ ය. මා සහෝදරයිනි, ඔබ අතරින් යමකු සත්‍යයෙන් බැහැර ව මුළාව ගිය කල, අන් කෙනකු ඔහු ආපසු හරවා ගන්නේ නම්, පව්කරුවකු ඔහුගේ මුළාව යෑමෙන් ආපසු හරවා ගන්නා තැනැත්තා, ජීවිතයක් මරණයෙන් ගලවා, පව් රාශියක් වසා දමන බව දැනගන්න.

යාකොබ් 5:7-20 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය