යාකොබ් 2:1-13

යාකොබ් 2:1-13 SCV

මා සහෝදරයිනි, තේජසේ ස්වාමින්වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ අදහන්නන් වශයෙන් උස් පහත්කම් නො සලකන්න. රන් මුදු පැලඳි, වටිනා ඇඳුම් හැඳි ධනවතෙක් ද වැරහැලි හැඳි දුගියෙක් ද ඔබේ එක්රැස්වීමකට පැමිණි විටෙක, ඔබ අර වටිනා ඇඳුම් හැඳි කෙනා අමතමින්, “එන්න, මේ හොඳ පහසු තැනකින් වාඩි වන්නැ” යි කියා, දුගී මිනිසා වෙත හැරී, “ඔන්න ඔහෙන් ඉන්නවා” ය කියා හෝ, “මේ මගේ පා අසලින් ඉඳගන්නවා” කියා කියන්නේ නම්, ඔබ, ඔබ අතරේ ම වෙනස්කම් සලසන, දුෂ්ට සිතුවිලි ඇති විනිශ්චයකරුවන් නො වන්නේ ද? මේ අහන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, ඇදහිල්ලේ ධනවත් වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ රාජ්‍යයේ උරුමකරුවන් වන පිණිසත්, මේ ලෝකයේ දුගීන් උන්වහන්සේ තෝරා නො ගත් සේක් ද? එහෙත් ඔබ, දිළිඳාට අවමන් කර ඇත. ඔබට පීඩා පමුණුවන්නේත්, උසාවි කරා ඔබ ඇදගෙන යන්නෙත් ධනවතුන් ම නො වේ ද? ඔබ දරන ගෞරවණීය නාමයට අපහාස කරන්නේත් ඔවුන් ම නො වේ ද? ශුද්ධ ලියවිල්ලට අනුව, “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න” යන රාජකීය නීතිය පිළිපදින්නේ නම්, ඔබ කරන්නේ හරි දෙයයි. එහෙත් ඔබ තරාතිරම් බලන්නේ නම්, ඔබ පව් කරයි. නොපනත්කමේ වරදට, ව්‍යවස්ථාවෙන් වරදකරුවන් කරනු ලබයි. මන්ද මුළු ව්‍යවස්ථාව ම පිළිපැද, ඉන් එක් කොටසක් කඩ වුවහොත් මුළු ව්‍යවස්ථාව ගැන ම වරදකරුවකු වෙයි. “පරදාර සේවනය නො කරනු” යි කී තැනැන්වහන්සේ, “මිනී නො මරනු” කියා ද කී සේක. එබැවින් ඔබ පරදාර සේවනයේ යෙදුණේ නැති වුව ද, මිනී මරන්නේ නම්, නීතිය පිළිබඳ වරදකරුවකු වෙයි. එබැවින් නිදහස් නීතියකින් විනිශ්චයට නියම වූවන් සේ කතා කරන්න; ක්‍රියා කරන්න. මන්ද දයාව නො පෑ තැනැත්තාට විනිශ්චය පැමිණෙන්නේ ද දයා විරහිත ව ය. දයාව විනිශ්චය අභිබවා ජය ගනී.