යාකොබ් 1:13-27

යාකොබ් 1:13-27 SCV

පරීක්ෂා කරනු ලබන කල, කිසිවෙක්, “දෙවියන්වහන්සේ මා පොලඹවන සේකැ” යි නො කියත්වා! මන්ද නපුර විසින් දෙවියන්වහන්සේ පරීක්ෂා කළ නො හැක; උන්වහන්සේ කිසිවකු පරීක්ෂා කරන්නේ ද නැත. එහෙත් එක් එක් මනුෂ්‍යයා පොලඹවනු ලබන්නේ, තමාගේ ම තෘෂ්ණාවනට වසඟ වී ඉන් ඇවිස්සුණු කල්හි ය. ඉන්පසු තෘෂ්ණාව පිළිසිඳ පාපය බිහි කරයි; පාපය මෝරා වැඩී මරණය උපද්දයි. නො රැවටෙන්න මා ප්‍රේමණීය සහෝදරයිනි. හැම හොඳ ත්‍යාගයක් ම, හැම සම්පූර්ණ ත්‍යාගයක් ම වෙනස් වීමක් හෝ වෙනස් වීමේ සේයාවක් හෝ නැති ආලෝකයේ පියාණන්වහන්සේ වෙතින් ඉහළ සිට බැස එයි. උන්වහන්සේගේ මැවිලි අතර, අප නාඹුල් පල විශේෂයක් වන පිණිස, උන්වහන්සේ තමන්ගේ ම අභිමතය පරිදි සත්‍යතාවේ වචනයෙන් අප උත්පාද කළ සේක. මෙය සිහි තබා ගන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, හැම කෙනෙක් ම ඇසීමට ඉක්මන් වන්න. කතා කිරීමට පමා වන්න. කෝපවීමටත් පමා වන්න. මන්ද දෙවියන්වහන්සේට ඕනෑ කරන ධර්මිෂ්ඨකම මිනිස් කෝපයෙන් ඉටු වන්නේ නැත. එබැවින් සියලු අපවිත්‍රතා හා ගහන ව ඇති දුෂ්ටකම ඉවත ලා, ඔබගේ ආත්මය ගලවන්නට සමත්, ඔබ තුළ පැළ කරන ලද වචනය මෘදු ලෙස පිළිගන්න. එහෙත් එය අසන්නන් පමණක් නො වී, තමන් නො රවටාගෙන, වචනය පිළිපදින්නන් වන්න. වචනය අසන්නකු වන නමුත්, එය නො පිළිපදින්නකු වන කවරකු වුව, ඕනෑකමින් කැඩපතකින් තම ස්වාභාවික මුහුණ බලන මිනිසකුට සමාන ය. මන්ද ඔහු තමා දිහා බලා, පිටත් ව ගොස්, තමා කෙබඳුදැයි විගස අමතක කරයි. එහෙත්, සම්පූර්ණ නීතිය වන නිදහසේ නීතිය නිරීක්ෂණ කරමින්, අමතක කරන අසන්නකු නො වී, ඒවා දිගට ම අභ්‍යාස කරන්නා, තමන් කරන දෙයින් ම ආශිර්වාද ලබයි. යමෙක් තම දිව පාලනය නො කර, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනී. ඔහුගේ භක්තිවන්තකම ද හිස් එකකි. පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර, නිර්දෝෂ භක්තිවන්තකම වන්නේ, අනාථ දරුවනට හා වැන්දඹුවනට ඔවුන්ගේ විපතේදී පිහිට වීමත්, තමා ලෝකයෙන් දූෂ්‍ය නො වී පැවත සිටීමත් ය.

යාකොබ් 1:13-27 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය