යෙසායා 8:18-22

යෙසායා 8:18-22 SCV

මෙන්න! මමත්, ස්වාමින්වහන්සේ මට දුන් දරුවොත්! සියොන් කන්දේ වෙසෙන සේනාංකවල ස්වාමින්වහන්සේ වෙතින් අපි ඉශ්‍රායෙල්හි ලකුණු ද සංකේත ද වන්නෙමු. සිහින් හඬින් කොඳුරන, තොල් මතුරන, ආත්ම බන්ධනකරුවන්ගෙන් සහ පේන කියන්නන්ගෙන් විචාරන්නැයි මිනිසුන් ඔබට කියන කල, ජනතාවක් විමසිය යුත්තේ තමන්ගේ දෙවියන්වහන්සේගෙන් නො වේ ද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරිය යුතු ද? ව්‍යවස්ථාව වෙතට! සාක්ෂිය වෙතට! මෙම වචනයට අනුකූලව ඔවුන් කතා නො කරන්නේ නම්, අරුණලු එළිය ඔවුනට නැත. දුක්-විපත් හා සාගින්නෙන් යුතු ව ඔවුන් දේශය ඔස්සේ ඉබාගාතෙ යනු ඇත. හාමතින් පීඩිත වූ කල ඔවුන් කෝපාවිෂ්ට ව, ඉහළ බලා, තම රජුටත්, තම දෙවියන්වහන්සේටත් ශාප තබනු ඇත. ඉන්පසු පොළොව දෙස බලන ඔවුන් දකිනු ඇත්තේ විපත හා අඳුරත්, බියකරු දුකඳුරත් පමණි. ඝන අන්ධකාරයට ඔවුහු ඇද දමනු ලබති.