ස්වාමින්වහන්සේ මා ඇමතූ සේක්, “විශාල ලේඛන පුවරුවක් ගෙන, මහේර්-ෂාලාල්-හාෂ්-බස් යනුවෙන් පොදු අකුරින් එහි ලියන්න. මා උදෙසා සාක්ෂි දීමට විශ්වාසී සාක්ෂිකරුවන් වශයෙන් පූජක ඌරියා ද යෙබෙරෙකියාගේ පුත් සෙකරියා ද මම කැඳවන්නෙමි” යි පැවසූ සේක. එවිට මම, දිවැසිවරිය වෙත එළැඹුණෙමි. ඈ ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. එවිට මා ඇමතූ ස්වාමින්වහන්සේ, “ඔහුට මහේර්-ෂාලාල්-හාෂ්-බස් කියා නම් තබන්න. දරුවා ‘මගේ තාත්තේ’ හෝ ‘මගේ අම්මේ’ යි කියන්නේ කෙසේදැයි දැනගන්නට පළමුවෙන්, දමස්කයේ වස්තුවත්, සමාරියේ කොල්ලයත් අසිරියාවේ රජු විසින් ගෙන යනු ලබනු ඇතැ” යි පැවසූ සේක.
ස්වාමින්වහන්සේ යළිත් මා ඇමතූ සේක්,
“මේ ජනයා, ශාන්ත ව ගලා බස්නා ෂිලොවා ජල දහර
ප්‍රතික්ෂේප කොට,
රෙසීන් ද රෙමලියාගේ පුත්‍රයා ද ගැන
සොම්නස් වෙයි;
එබැවින් මෙන්න! ස්වාමින්වහන්සේ ඔවුනට එරෙහිව
ගංගාවේ බලවත් ගං වතුර මෙන් අසිරියාවේ රජු,
ඔහුගේ මුළු තේජසින් යුතු ව, ගෙනෙන සේක.
එය එහි සියලු ඇළ මාර්ග පිටාර ගලනු ඇත;
එය එහි සියලු ඉවුරුවලට ඉහළින් නැගී යනු ඇත.
එය යූදා දේශයට වැද, දේශය පිස,
එය යට කර ගලා, ගෙල දක්වා ම නැග එනු ඇත,
එහි විහිදුණු පියාපත්, මුළු දේශය මුළුල්ල ම වසා ගනු ඇත.
අහෝ එම්මානුවෙල්!”
එම්බා ජාතීනී, ඔබේ නරක ම දේ කරනු. එහෙත් කුඩු-පට්ටම් වනු.
සවන් දෙනු, දුරස්ථ සියලු දේශයෙනි!
ඔබේ ආයුධ ඉඟ බැඳ ගනු. එහෙත් කුඩු-පට්ටම් වනු.
ඔබේ ආයුධ ඉඟ බැඳ ගනු. එහෙත් කුඩු-පට්ටම් වනු.
එකමුතු වී සාකච්ඡා කරනු. එහෙත් එයින් වැඩක් නො වේ.
වචනයක් පවසනු. එහෙත් එය සඵල නො වේ.
මන්ද දෙවියන්වහන්සේ අප සමඟ ය.
ස්වාමින්වහන්සේ, ස්වකීය බලවත් හස්තය මා පිට තබා, මා අමතමින්, මේ ජනයාගේ මාර්ගය අනුව නො යන ලෙස මට අවවාද කරමිනි, මට මෙසේ කී සේක:
“මෙම ජනයා ‘කුමන්ත්‍රණයකැ’ යි හඳුන්වන සියල්ලට
කුමන්ත්‍රණයැයි නො කියන්න.
ඔවුන් භය වන දේට භය නො වන්න.
භීතියට පත් නො වන්න.
ඔබ පාරිශුද්ධ යයි සැලකිය යුත්තේ සේනාංකවල ස්වාමින්වහන්සේ ය.
ඔබ භය විය යුත්තේ, උන්වහන්සේට ය.
භීතියට පත් විය යුත්තේ ද උන්වහන්සේට ය.
උන්වහන්සේ ශුද්ධස්ථානයක් වන සේක;
එහෙත් ඉශ්‍රායෙල් වංශ දෙකට
උන්වහන්සේ මිනිසුන් පැකිළවීමේ ගලක් ද
ඔවුන් වැටෙන්නට සලසන පර්වතයක් ද වනු ඇත.
යෙරුසලම් ජනතාවට
උන්වහන්සේ උගුලක් ද මලපතක් ද වනු ඇත.
ඔවුන් බොහෝ දෙනකු පැකිළෙනු ඇත.
ඔවුන් වැටී, කැඩී යනු ඇත.
ඔවුන් උගුලට හසු වී, අල්ලා ගනු ලබනු ඇතැ” යි කී සේක.