යෙසායා 62:1-12

යෙසායා 62:1-12 SCV

ඇගේ දමිටුකම, අරුණෝදය මෙන් ද ඇගේ ගැලවීම, ඇවිළෙන ගිනි හුළක් මෙන් ද බැබළෙන තුරු, සියොන උදෙසා මම නිහඬ ව නො සිටිමි, යෙරුසලම උදෙසා මම නිසල ව නො සිටිමි. ජාතීන් ඔබේ ධර්මිෂ්ඨකම ද සියලු රජවරුන් ඔබේ තේජස ද දකිනු ඇත. ස්වාමින්වහන්සේගේ මුවින් පිරිනැමෙන අලුත් නාමයකින් ඔබ හඳුන්වනු ලබනු ඇත. ස්වාමින්වහන්සේ අතේ, ඔබ ශෝභමාන ඔටුන්නක් ද ඔබේ දෙවියන්වහන්සේ අතේ, රාජකීය කිරුළක් ද වනු ඇත. අසූබා යයි ඔවුන් තවත් ඔබට කියන්නේ නැත. ෂෙමාමා යන පදයෙන්, ඔබේ දේශය හැඳින්වෙන්නේ නැත. ඒ වෙනුවට ඔබට හෙෆ්සීබා කියා ද ඔබේ දේශය බෙයූලා කියා ද කියනු ලැබේ. මන්ද ස්වාමින්වහන්සේ ඔබ තුළ සොම්නස් වන සේක. ඔබේ දේශය ද විවාහ කර ගනු ලැබේ. තරුණයකු, කන්‍යාවියක ආවාහ කර ගන්නා පරිදි, ඔබේ පුත්‍රයින් ඔබ ආවාහ කර ගනු ඇත. මනාලයකු, තම මනාලිය ගැන ප්‍රීති ප්‍රමෝද වන්නා සේ, ඔබේ දෙවියන්වහන්සේ ඔබ ගැන ප්‍රීති ප්‍රමෝද වනු ඇත. එම්බා යෙරුසලම, ඔබේ පවුරු මත මම මුරකරුවන් සිටෙවුවෙමි. මුළු දවස පුරා, මුළු රැය පුරා කිසි විටෙකත් ඔවුන් නිහඬ නො වනු ඇත. ස්වාමින්වහන්සේ සිහි කරන නුඹලා විවේකයක් නො ගන්න. උන්වහන්සේ යෙරුසලම යළි පිහිටුවා, මිහි පිට පැසසුමක් බවට එය පත් කරන තුරු, උන්වහන්සේට ද විවේකයක් නො දෙන්න. ස්වාමින්වහන්සේ තම දකුණත ද තම ප්‍රබල බාහුව ද පා මෙසේ දිවුළ සේක: “යළි කිසි දින ඔබේ ධාන්‍ය ඔබේ සතුරන්ගේ ආහාර පිණිස මා දෙන්නේ නැත; ඔබේ වෙහෙස මහන්සියෙන් ඔබ ලබා ගත් අලුත් මිදි යුෂ, විදෙස්සන් බොන්නේ නැත. අස්වනු නෙළාගන්නා අය ම ඒවා භුක්ති විඳ, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරනු ඇත. මිදි පල එකතු කරන අය ම මගේ ශුද්ධස්ථානයේ මිදුල්වලදී ඒවා පානය කරනු ඇත.” පිට වී යන්න. දොරටුවලින් පිට වී ගොසින්, ජනයාට මාර්ගය සූදානම් කරන්න. ඉදි කරන්න. මහ මාවත ඉදි කරන්න. ගල් ඉවත් කරන්න. ජාතීනට ධජයක් ඔසවන්න. මෙන්න! පොළොවේ සීමා අන්ත වෙත ස්වාමින්වහන්සේගෙන් ප්‍රකාශයක්! “සියොන් දියණියට මෙසේ කියන්න: ‘අන්න, ඔබේ මිදුම්කරු පැමිණේ. බලන්න! එතුමන්ගේ ඉෂ්ට විපාක එතුමන් සමඟයි. එතුමන්ගේ පාරිතෝෂිතය ද එතුමන් ඉදිරියෙයි.’ ” ඔවුහු, “ශුද්ධ ජනතාව ය, ස්වාමින්වහන්සේගේ මුදා ගනු ලැබුවෝ” යි, අමතනු ලබන්නෝ ය. ඔබ, “සොයා ගන්නා ලද්දා ය, තවත් අතැර නො දමන නගර යැ” යි අමතනු ලබන්නේ ය.

මෙයට අදාළ වීඩියෝ

යෙසායා 62:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය