යෙසායා 61:1-11
යෙසායා 61:1-11 SCV
පරමාධිපති ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් මා පිට ය. මන්ද දිළිඳුනට ශුභාරංචිය ප්‍රකාශ කරන්නට, ස්වාමින්වහන්සේ මා ආලේප කළ සේක. උන්වහන්සේ මා යවා ඇත්තේ, බිඳුණු හදවත් බඳින්නටත්, වහල්කමට අල්ලා ගත් අයට නිදහස හා සිරකරුවනට මිදීම ප්‍රකාශ කරන්නටත්, ස්වාමින්වහන්සේගේ ප්‍රසාදයේ වසර හා අපේ දෙවියන්වහන්සේගේ පළිගැන්මේ දවස ප්‍රකාශ කරන්නටත්, ශෝක වන සියල්ලන් සැනසීමටත්, සියොනෙහි ශෝක වන්නන්ට අළු වෙනුවට මනරම් හිස-පළඳනාවක් ද ශෝකය වෙනුවට ප්‍රීතියේ තෛලය ද කනස්සලු සිතක් වෙනුවට ප්‍රශංසාවේ ඇඳුමක් ද ප්‍රදානය කරන පිණිසත් ය. උන්වහන්සේ විසින් සිටුවන ලද දමිටුකමේ ඕක් ගස් යැයි ඔවුන් හඳුන්වනු ලබන්නට ස්වාමින්වහන්සේගේ තේජස විදහා දක්වන පිණිසත් ය. ඉපැරණි නටබුන් ඔවුන් ගොඩ නගනු ඇත. නැති නාස්ති වූ තැන් පිළිසකර කරනු ඇත. පරම්පරා ගණනාවක් නැති නාස්තියට හැර තිබූ ගරා වැටුණු නගර, ඔවුන් පිළිසකර කරනු ඇත. පිටදේශක්කරුවන් නැවතී, ඔබේ එළු බැටළු රංචු රැක බලා ගනු ඇත. විදේශිකයින් ඔබේ කෙත් වතු හා මිදි වතුවල වැඩකරුවන් වනු ඇත. ඔබ හඳුන්වනු ලබනු ඇත්තේ, ස්වාමින්වහන්සේගේ පූජකයින් කියා ය. අපේ දෙවියන්වහන්සේගේ සේවකයින් යැයි ඔබ ගැන කතා කරනු ඇත. ජාතීන්ගේ සම්පත්වලින් ඔබ පෝෂ්‍ය වනු ඇත. ඔවුන්ගේ වස්තුව තුළ ඔබ පාරට්ටු කර ගනු ඇත. ලද ලජ්ජාව වෙනුවට ඔබට දෙපංගුවක් ලැබේ. නින්දාව වෙනුවට ඔබ තම කොටසේ ප්‍රීති ප්‍රමෝද වනු ඇත. එබැවින් ඔබේ දේශයෙහි ඔබ දෙපංගුවක් උරුම කර ගන්නෝ ය. සදාතන ප්‍රීතිය ද ඔබට ම වන්නේ ය. මන්ද ස්වාමින්වහන්සේ වන මම යුක්තියට ප්‍රේම කරන්නෙමි. මංකොල්ලයටත්, අපරාධයටත් මම වෛර කරමි. මගේ විශ්වාසවන්තකමින් මම ඔවුනට ඉටු විපාක දී, ඔවුන් සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි. ඔවුන්ගෙන් පැවත එන්නෝ ජාතීන් අතරේ ද ඔවුන්ගේ වංශය ජනයින් අතරේ ද හැඳින ගනු ලබති. ස්වාමින්වහන්සේ විසින් ආශිර්වාද කරන ලද ජනතාව, ඔවුන් වග ඔවුන් දකින සැවොම ඒත්තු ගනු ඇත. ස්වාමින්වහන්සේ තුළ මම මහත් සේ ප්‍රීති ප්‍රමෝද වෙමි. මගේ ජීවය, මගේ දෙවියන්වහන්සේ තුළ ප්‍රීතිමත් වෙයි. මන්ද මනාලයකු පූජකයකු මෙන් මනරම් හිස-පළඳනාවකින් සැරසෙන්නා සේ, මනාලියක ඇගේ අබරණ පලඳින්නා සේ, උන්වහන්සේ ගැලවීමේ ඇඳුමින් මා සැරසූ සේක. ධර්මිෂ්ඨකමේ කබායෙන් මා ඇඳවූ සේක. මන්ද පස, ළා-පැළ හටගන්වන්නාක් මෙන්, වත්ත, එහි ඉසින ලද බීජවලින් පැළ උපදවන්නාක් මෙන්, පරමාධිපති ස්වාමින්වහන්සේ සියලු ජාතීන් හමුවෙහි දමිටුකම හා ප්‍රශංසාව පැන නංවන සේක.

