යෙසායා 6:1-13

යෙසායා 6:1-13 SCV

උස්සියා රජු මැරුණු අවුරුද්දේ, ස්වාමින්වහන්සේ උසස් වූ ද උත්තම වූ ද සිංහාසනයක වාඩි වී හිඳිනු මම දිටිමි. උන්වහන්සේගේ ලෝගුවේ වාටියෙන් දේව මාලිගය පිරී ගියේ ය. උන්වහන්සේ සිටි තැනට ඉහළින් සෙරාෆ්වරු වූහ. ඒ එක් එක් කෙනාට පියාපත් හය බැගින් තිබිණ. දෙකකින් ඔවුහු තම මුහුණු වසා ගත්හ; දෙකකින් තම පාද වසා ගත්හ. දෙකකින් ඔවුහු පියා සැලූහ. ඔවුහු එකිනෙකාට හඬ ගාමින්: “ශුද්ධය, ශුද්ධය, ශුද්ධය, සේනාංකවල ස්වාමින්වහන්සේ! මුළු පොළොව ම උන්වහන්සේගේ තේජෝ මහිමයෙන් පිරිලා” යි කීහ. ඔවුන්ගේ කටහඬේ නාදයට එළිපත්තේ අත්තිවාරම් සෙලවිණි. ගෘහය ද දුමින් වැසී ගියේ ය. එවිට මම, “මට වන විපතක මහත! මා විනාශයි: මන්ද අපවිත්‍ර තොල් ඇති මිනිසකු වන අපවිත්‍ර තොල් ඇති ජනතාවක් අතර වෙසෙන, මා මගේ ම ඇස්වලින් සේනාංකවල ස්වාමින්වහන්සේ වන රජ්ජුරුවන්වහන්සේ දුටු නිසා යැ” යි පැවසීමි. එවිට සෙරාෆ්වරුන්ගෙන් කෙනෙක්, පූජාසනය වෙතින් අඬුවකින් ගත් ඇවිළෙන ගිනි අඟුරක් අතින් ගෙන, මා වෙත පියාසලා අවුත්, එයින් මගේ මුව ස්පර්ශ කර, “මෙන්න! ඔබේ තොල්වල මෙය ස්පර්ශ විය. ඔබේ අයුතුකම පහ කරන ලදී. ඔබේ පාපය වන්දි නිවාරණ කරනු ලැබිණ” යි පැවසී ය. එවිට, ස්වාමින්වහන්සේගේ කටහඬ මට ඇසිණි. “මම කවරකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවුරු දැ?” යි ඉන් කියැවිණි. එවිට, “මෙන්න මම! මා යවනු මැනවි” යි මම කීමි. තවද උන්වහන්සේ කතා කරමින්, “යන්න! ගොස්, මේ ජනතාවට මෙසේ කියන්න: “ ‘නිරතුරු අස අසා, කිසි දින වටහා නො ගන්න. නිරතුරු දැක දැක, කිසි දින තේරුම් නො ගන්න.’ මේ ජනයාගේ හදවත් දැඩි කරන්න. ඔවුන්ගේ කන් මොට කරන්න. ඔවුන්ගේ ඇස් වසාලන්න. එසේ නූවුවහොත්, ඔවුන් තම ඇස්වලින් දැක, තම කන්වලින් අසා, තම හදවත්වලින් වටහා ගෙන, මා වෙත හැරී, සුවය ලබනු ඇතැ” යි කී සේක. ඉන්පසු මම, “කොතෙක් කාලයකට ද අහෝ ස්වාමිනි?” යි ඇසුවෙමි. උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වැසියකු නැතිව නගර ජරාවාස ව යන තුරු, නිවෙස් අත්හැර දමනු ලබන තුරු, වතු පිටි විනාශ වී නැති නාස්ති ව යන තුරු, ස්වාමින්වහන්සේ විසින් හැම කෙනකු ම ඈත එපිට යවන තුරු, දේශය මුළුමනින් ම අතැර දමනු ලබන තුරු ය; ජනයාගෙන් දහයෙන් එකක් දේශයේ ඉතිරි වුව ද, යළිත් එය පාළු කරනු ලබන්නේ ය. එහෙත්, ඒලා ගස හෝ ආලෝන් ගස හෝ කපා දැමූ කල, ගස් කොටයක් ඉතිරි ව තිබෙන්නේ යම් සේ ද, ශුද්ධ වූ වංශය, එහි කොටයක් වන්නේ යැ” යි පැවසූ සේක.

යෙසායා 6:1-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය