යෙසායා 58:1-8

යෙසායා 58:1-8 SCV

“මහ හඬින් මොර ගසන්න, නො නවතන්න. ඔබේ කටහඬ හොරණෑවක් සේ උස් හඬ නංවන්න. මගේ ජනයාට ඔවුන්ගේ අපරාධ ගැනත්, යාකොබ් වංශයට ඔවුන්ගේ පාප ගැනත් ප්‍රකාශ කරන්න. ධර්මිෂ්ඨකම් කළ ජාතියක් සේ, තම දෙවියන්වහන්සේගේ නියමයන් අත්නොහැරි සේ, ඔවුහු, දිනපතා මා සොයති, මගේ මාර්ග දැනගැනීමට ප්‍රමෝද වෙති; ඔවුහු යුක්තියේ විනිශ්චයන් මගෙන් ඉල්ලති; දෙවියන්වහන්සේට ළං වීමට ප්‍රමෝද වෙති. ‘අප නිරාහාර ශීලයෙන් සිටියේ නමුදු ඔබ එය නො දුටුවේ ඇයි? අපි ම නිහතමානී වුණෙමු. ඔබ ඒ ගැන සලකන්නේ නැත්තේ ඇයි’ දැයි ඔවුහු කියති. “ඔන්න! ඔබේ නිරාහාරශීල දවසේ ඔබ සොයන්නේ ඔබේ වාසිය ය. ඔබගේ වැඩකරුවන් පීඩාවට පත්කරවමිනි. ඔන්න! නුඹලාගේ නිරාහාර ශීලය දබරයට ය. සටනට ය. දුෂ්ටකමේ අත්මිටෙන් පහර දීමට ය. අද දවසේ නුඹලාගේ මෙම නිරාහාර ශීලයෙන් නුඹලාගේ කටහඬ ස්වර්ගයට ඇසෙන්නේ නැත. මෙවැනි නිරාහාරයක් ද මා තෝරා ගත්තේ? කෙනෙක් තමන් ම යටහත්-පහත් වන දවසක් ලෙස එය, බට ලීයක් සේ සිරස පහතට නවාගෙන, ගෝණියක හා අළු ගොඩක වැතිර හිඳීමක් පමණක් ද! ස්වාමින්වහන්සේට පිළිගත මනා දවසක් වන නිරාහාර ශීලය යැයි ඔබ හඳුන්වන්නේ මෙය ද? “මවිසින් තේරූ නිරාහාර ශීලය, මෙන්න මේ ආකාර එකක් නො වේ ද? අයුක්තියේ බැමි මුදා හැරීමත්, වියගසේ ලණු ලිහා දැමීමත්, පීඩිතවූවන් මුදාලීමත්, හැම වියගහක් ම කඩා දැමීමත් නො වේ ද? එය, සාගිනි වූවන් සමඟ ඔබේ ආහාර බෙදා හදා ගැනීමත්, ගෙයක්-දොරක් නැති දුගියන් ඔබේ නිවසට පිළිගැනීමත්, ඇඳුම් නැති කෙනකු දුටු කල, ඒ අයට ඇඳුම් දීමත්, තමාගේ ම නෑසියන් වෙතින් ඉවත නො හැරීමත් නො වේ ද? එවිට ඔබේ එළිය, අරුණෝදය මෙන් උදා වෙයි. ඔබේ සුවය ද සීඝ්‍රයෙන් පැන නගී. ඔබේ දමිටුකම ඔබට පෙරටුව යයි. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, ඔබට පිටුපසින් ඔබේ ආරක්ෂකයා වෙයි.

මෙයට අදාළ වීඩියෝ