යෙසායා 58:1-14
යෙසායා 58:1-14 SCV
“මහ හඬින් මොර ගසන්න, නො නවතන්න. ඔබේ කටහඬ හොරණෑවක් සේ උස් හඬ නංවන්න. මගේ ජනයාට ඔවුන්ගේ අපරාධ ගැනත්, යාකොබ් වංශයට ඔවුන්ගේ පාප ගැනත් ප්‍රකාශ කරන්න. ධර්මිෂ්ඨකම් කළ ජාතියක් සේ, තම දෙවියන්වහන්සේගේ නියමයන් අත්නොහැරි සේ, ඔවුහු, දිනපතා මා සොයති, මගේ මාර්ග දැනගැනීමට ප්‍රමෝද වෙති; ඔවුහු යුක්තියේ විනිශ්චයන් මගෙන් ඉල්ලති; දෙවියන්වහන්සේට ළං වීමට ප්‍රමෝද වෙති. ‘අප නිරාහාර ශීලයෙන් සිටියේ නමුදු ඔබ එය නො දුටුවේ ඇයි? අපි ම නිහතමානී වුණෙමු. ඔබ ඒ ගැන සලකන්නේ නැත්තේ ඇයි’ දැයි ඔවුහු කියති. “ඔන්න! ඔබේ නිරාහාරශීල දවසේ ඔබ සොයන්නේ ඔබේ වාසිය ය. ඔබගේ වැඩකරුවන් පීඩාවට පත්කරවමිනි. ඔන්න! නුඹලාගේ නිරාහාර ශීලය දබරයට ය. සටනට ය. දුෂ්ටකමේ අත්මිටෙන් පහර දීමට ය. අද දවසේ නුඹලාගේ මෙම නිරාහාර ශීලයෙන් නුඹලාගේ කටහඬ ස්වර්ගයට ඇසෙන්නේ නැත. මෙවැනි නිරාහාරයක් ද මා තෝරා ගත්තේ? කෙනෙක් තමන් ම යටහත්-පහත් වන දවසක් ලෙස එය, බට ලීයක් සේ සිරස පහතට නවාගෙන, ගෝණියක හා අළු ගොඩක වැතිර හිඳීමක් පමණක් ද! ස්වාමින්වහන්සේට පිළිගත මනා දවසක් වන නිරාහාර ශීලය යැයි ඔබ හඳුන්වන්නේ මෙය ද? “මවිසින් තේරූ නිරාහාර ශීලය, මෙන්න මේ ආකාර එකක් නො වේ ද? අයුක්තියේ බැමි මුදා හැරීමත්, වියගසේ ලණු ලිහා දැමීමත්, පීඩිතවූවන් මුදාලීමත්, හැම වියගහක් ම කඩා දැමීමත් නො වේ ද? එය, සාගිනි වූවන් සමඟ ඔබේ ආහාර බෙදා හදා ගැනීමත්, ගෙයක්-දොරක් නැති දුගියන් ඔබේ නිවසට පිළිගැනීමත්, ඇඳුම් නැති කෙනකු දුටු කල, ඒ අයට ඇඳුම් දීමත්, තමාගේ ම නෑසියන් වෙතින් ඉවත නො හැරීමත් නො වේ ද? එවිට ඔබේ එළිය, අරුණෝදය මෙන් උදා වෙයි. ඔබේ සුවය ද සීඝ්‍රයෙන් පැන නගී. ඔබේ දමිටුකම ඔබට පෙරටුව යයි. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, ඔබට පිටුපසින් ඔබේ ආරක්ෂකයා වෙයි. එවිට ඔබ හඬ-ගසද්දී, ස්වාමින්වහන්සේ පිළිතුරු දෙන සේක. ඔබ මොර ගසන කල, ‘මෙන්න, මම මෙතැන ම’ යි උන්වහන්සේ පවසන සේක. “ඔබ මධ්‍යයෙන් ඔබ පීඩාවේ වියගහ ඉවත් කරන්නේ නම්, ඇඟිල්ල දිගු කිරීමත්, ද්වේෂ සහගත කතාවත් ඔබ ඉවතලන්නේ නම්, ඔබ සාගිනි වූවන් වෙනුවෙන් කැප වී, පීඩිතයින්ගේ අවැසිතා සපුරා, ඔවුන් තෘප්තියට පමුණුවයි නම්, අන්ධකාරයේදීත් ඔබේ එළිය නැගෙන්නේ ය; ඔබේ අඳුර, මද්දහන මෙන් වන්නේ ය. ස්වාමින්වහන්සේ නොකඩවා ඔබට මග පෙන්වනු ඇත; උන්වහන්සේ දුෂ්කර තැන්හි දී ඔබේ මනදොළ සෑහීමට පමුණුවා, ඔබේ අස්ථි ශක්තිමත් කරන සේක. ඔබ, මනාව දිය-සැපයුණු උයනක් මෙන්, කිසි දින නො සිඳෙන දිය උල්පතක් මෙන් වනු ඇත. තවද ඔබේ ඉපැරණි නටබුන් යළි ගොඩ නගා, බොහෝ පරම්පරාවල අත්තිවාරම් ඔබ නගා සිටුවනු ඇත. කැඩුණු පවුරු පිළිසකර කරන්නා ය, වාසය පිණිස වීදි ප්‍රකෘතිමත් කරන්නා ය යනුවෙන් ඔබ හඳුන්වනු ලැබේ. “ඔබේ කාරණා කටයුතු කර ගනු පිණිස සබත් දින කඩ කිරීමෙන් ඔබේ පාද වළක්වා ගන්නේ නම්, සබත ප්‍රීතියක් යයි ද ස්වාමින්වහන්සේගේ ශුද්ධ දවස ගෞරවණීය යයි ද හඳුන්වන්නේ නම්, ඔබේ මනාපයට ම වැඩ නො කර, වල්පල් කතා නො කර, ඔබ ඊට ගරු කරන්නේ නම්, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිය ඔබ අත්දකිනු ඇත. ලෝකයේ උස් තැන් මත නැගී යන්නට මම ඔබට සලසා දෙන්නෙමි. තවද, ඔබේ ආදී පිය යාකොබ්ගේ උරුමයෙන් ඔබ පිනවීමට සලස්වන්නෙමි” යි ස්වාමින්වහන්සේගේ ම මුවින් පවසා ඇත.

