යෙසායා 56:3-8
යෙසායා 56:3-8 SCV
ස්වාමින්වහන්සේට තමන් ම බැඳුණු විදේශිකයා, “ස්වාමින්වහන්සේ තම ජනයා වෙතින් සැබවින් ම මා වෙන් කළ සේකැ” යි නො කියත්වා. තවද නපුංසකයා, “බලන්න, මා වියළි ගසක් පමණි” යි නො කියත්වා! මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මගේ සබත් පවත්වමින්, මට ප්‍රිය දෑ තෝරා ගනිමින්, මගේ ගිවිසුම තදින් අල්ලාගෙන, සිටින නපුංසකයින්ට, මගේ මාලිගාව හා මගේ පවුරු ඇතුළත අනගි සිහිවීමක් හා නාමයක් මම ප්‍රදානය කරමි. එය දූ පුතුනටත් වඩා අනගි එකකි. කිසි දිනෙකත් සිඳලනු නො ලබන සදාතනික නාමයක් මම ඔවුනට දෙන්නෙමි. තවද තමන් ම ස්වාමින්වහන්සේට බැඳෙන විදෙස්සන්, උන්වහන්සේට මෙහෙකිරීමටත්, ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රේම කිරීමටත්, උන්වහන්සේගේ සේවකයන් වීමටත්, සබත පවත්වන සියල්ලන්, එය නො කෙලෙසන්නන් හා මගේ ගිවිසුම තදින් ම අල්ලාගත්තවුන්– මම ඔවුන් මගේ ශුද්ධ කන්දට ගෙන ගොස්, මගේ යාච්ඤා ගෘහය තුළ ඔවුනට ප්‍රීතිය දෙන්නෙමි. ඔවුන්ගේ දවන යාග ද පූජා ද, මගේ පූජාසනය මතදී පිළිගනු ලැබේ. මන්ද ‘මගේ ගෘහය, සියලු ජනයින්ට උදෙසා යාච්ඤා ගෘහයකි’ යි හඳුන්වනු ලබනු ඇත.” ඉශ්‍රායෙල් පිටුවහලුන් එක් රැස් කරන පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “දැනටමත් එක් රැස් කරන ලද්දවුනට අමතරව මම තවත් ඔවුන් අතරට එක් රැස් කරන්නෙමි.”

