යෙසායා 52:1-12
යෙසායා 52:1-12 SCV
එම්බා සියොන, පිබිදෙන්න; පිබිදෙන්න! ඔබේ සවියෙන් සැරසෙන්න. ඔබේ ශෝබන ඇඳුම් ඇඟ ලා ගන්න, එම්බා යෙරුසලම, ශුද්ධ නගරය. මන්ද තවදුරටත් ඔබ තුළට චර්මඡේද නො වූවන් හා අපවිත්‍ර වූවන් ඇතුළු වන්නේ නැත. ඔබේ දූලි ගසා දමා, නැගිට, හිඳගන්න, එම්බා යෙරුසලම. වහල්කමට ගිය සියොන් දියණිය, ඔබේ ගෙල බැඳි සිර-බැඳුම්වලින් නිදහස් වන්න. මන්ද ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔබ විකුණන ලද්දේ මිලයකට නො වේ. මුදලක් නො ගෙවා ම ඔබ මුදා ගැනේ.” මන්ද පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “මගේ ජනයා, වාසය පිණිස පළමු කොට ඊජිප්තුවට ගියහ. පසුව අසිරියන්වරු අහේතුක ව ඔවුන්ට පීඩා කළහ. “එහෙත් දැන් මෙහි මට ඇත්තේ කුමක් දැ? යි” ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මන්ද මගේ ජනයා අහේතුක ව ඉවත ගෙන යනු ලැබ ඇත. ඔවුන්ගේ පාලකයෝ විලාප දෙති” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “තවද මගේ නාමය දවස පුරා නිරතුරු ව ම අපහාසයට ලක් ව ඇත. එබැවින් මගේ ජනයා මගේ නාමය දැනගත යුතු ය. එබැවින් කතා කරන්නේ මා වග ඒ දවසේදී ඔවුන් දැනගනු ඇත. එසේය, මෙන්න මම.” සුබ ආරංචි ගෙනෙන අයගේ පාද කඳු පිට කොපමණ අලංකාර ද! සාමය ප්‍රකාශ කරන ඔහු ප්‍රීතියේ සුබ ආරංචි ගෙනෙයි. ගැලවීම ප්‍රකාශ කරන ඔහු “ඔබේ දෙවියන්වහන්සේ රජකම් කරන්නාහ” යි සියොනට කියන්නේ ය. අන්න! ඔබේ මුරකරුවන්ගේ කටහඬ. ඔවුහු තම කටහඬින් උස් හඬ නගති. ඔවුහු එක් ව ප්‍රීතියෙන් ගී ගයති. මන්ද ස්වාමින්වහන්සේ සියොන වෙත ආපසු එනු ඔවුහු සියැසින් ම දකිති. එම්බා යෙරුසලමේ නටබුන්, එක්සත් ව ප්‍රීති ගීත හඬ නගන්න. මන්ද ස්වාමින්වහන්සේ තම ජනයා සැනසූ සේක. උන්වහන්සේ යෙරුසලම මුදා ගත් සේක. ස්වාමින්වහන්සේ ස්වකීය ශුද්ධ බාහුව සියලු ජාතීන්ගේ ඇස් හමුවේ, නිරාවරණ කරන සේක. මුළු පොළොවේ හැම කෙළවරක ම ජනයා අපේ දෙවියන්වහන්සේගේ ගැලවීම දකිනු ඇත. නික්ම යන්න; නික්ම යන්න. එතැනින් පිටතට යන්න. අපවිත්‍ර කිසි දෙයක් ස්පර්ශ නො කරන්න. ඇය මධ්‍යයෙන් පිටතට අවුත්, නුඹලා ම පවිත්‍ර වන්න, ස්වාමින්වහන්සේගේ බඳුන් දරන්නෙනි. එහෙත් කඩිමුඩියේ ඔබ යන්නේ නැත. ඔබ පලායන්නේ ද නැත. මන්ද ස්වාමින්වහන්සේ ඔබට පෙරටුව යනු ඇත. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ ඔබට පිටුපසින් ඔබේ ආරක්ෂකයා වන සේක.

