“දමිටුකම පසු පස යන්නෙනි,
ස්වාමින්වහන්සේ සොයන්නෙනි, මට සවන් දෙන්න.
ඔබ කපා ගනු ලැබූ පර්වතය දිහා,
ඔබ නෙළා ගනු ලැබූ ගල් වළ දිහා බලන්න.
ඔබේ ආදී පියා ආබ්‍රහම් දිහා,
ඔබ බිහි කළ සාරා දිහා බලන්න.
මන්ද මා ඔහුට හඬ ගැසූ කල, ඔහු එක් පුද්ගලයකු පමණකි.
මම ඔහුට ආශිර්වාද කර, ඔහු බොහෝ දෙනකු කළෙමි.
මන්ද ස්වාමින්වහන්සේ සියොන සනහන සේක.
එහි නාස්ති වූ සියල්ල සනසන උන්වහන්සේ
එහි කාන්තාර, ඒදන් උයන සේ ද
එහි පාළු කතර, ස්වාමින්වහන්සේගේ උයන සේ ද වන්නට සලසන සේක.
ඒ තුළ ප්‍රීතිය හා ප්‍රමෝදයත්,
ස්තුති දීම් හා ගීත නාදයත් හමු වනු ඇත.
“මගේ ජනයිනි, මට අවධානය යොමන්න;
මගේ ජාතිකයිනි, මට කන් දෙන්න:
ව්‍යවස්ථාව, මා වෙතින් පිටත් ව යයි.
ජාතීනට එළියක් පිණිස මම මගේ යුක්තිය, පිහිටුවමි.
මගේ ධර්මිෂ්ඨකම, ළඟා වෙයි.
මගේ ගැලවීම, පිටත් ව ගොසිනි.
මගේ බාහුව, ජනයින් විනිශ්චය කරනු ඇත.
වෙරළබඩ දිවයින් මා ගැන බලා හිඳියි.
මගේ බාහුව බලාපොරොත්තුවෙන් බලා හිඳියි.
අහස දෙසට ඔබේ ඇස් ඔසවන්න.
පහළ පොළොව දෙස බලන්න.
මන්ද දුමක් පරිදි අහස නො පෙනී යනු ඇත.
ඇඳුමක් පරිදි පොළොව අබලන් ව, ගෙවී යනු ඇත.
එහි වෙසෙන්නන් මැස්සන් සේ මැරී යනු ඇත.
එහෙත් මගේ ගැලවීම සදහට පවතී.
මගේ ධර්මිෂ්ඨකම කිසි දා නො වරදී.
“ධර්මිෂ්ඨකම දන්නා-හඳුනන,
තම හදවත්හි මගේ ව්‍යවස්ථාව ඇති ජනයිනි, මට සවන් දෙන්න:
මිනිසුන්ගේ අවලාදවලට භය නො වන්න.
ඔවුන්ගේ පරිභවවලින් තැති නො ගන්න.
මන්ද කාවුන්, ඇඳුමක් සේ ඔවුන් කා දමනු ඇත;
තවද පණුවන්, ලොම් සේ ඔවුන් කා දමනු ඇත.
එහෙත් මගේ ධර්මිෂ්ඨකම සදහට පවතී.
මගේ ගැලවීම සියලු පරම්පරාවලට ය.”
ස්වාමින්වහන්සේගේ හස්තය, පිබිදෙන්න! පිබිදෙන්න!
සවියෙන් සැරසෙන්න!
යටගිය දවස්හි දී මෙන්,
ඉපැරණි පරම්පරාහි දී මෙන් පිබිදෙන්න.
කැබලිවලට රහබ් කපා දැමුවේ,
දැවැන්ත මකරාට ඇන්නේ ඔබ නො වේ ද?
මහත් ගැඹුරේ ජලය හින්දවූයේත්,
මුහුද වියළවා හැරියේත්,
මුදා ගනු ලැබූවන්ට එතෙර විය හැකි වන පරිදි,
මුහුදු පත්ලෙහි මාවතක් තැනුවේත් ඔබ ම නො වේ ද?
ස්වාමින්වහන්සේ වන්දි ගෙවා, නිදහස් කර ගනු ලැබුවෝ, ආපසු එති.
ඔවුන් ප්‍ර්‍රීති නාද පවත්වමින්, සියොන වෙත පිවිසෙනු ඇත.
සදාතනික ප්‍රීතිය, ඔවුන්ගේ හිස් පැලඳෙනු ඇත.
සොම්නස හා ප්‍රීතිය, ඔවුන් වට කොට ගැනේ.
ශෝකය හා සුසුම්, ඉවත පලා දිවේ.