යෙසායා 50

50
සේවකයාගේ අවනත භාවය
1 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“මවිසින් ඔබේ මව පිට මං කරමින් දුන්,
ඇගේ දික්කසාද සහතිකය කොහේ ද?
නැතහොත්, මා ඔබ විකුණා දැමුවේ,
මගේ ණය හිමියන්ගෙන් කවරකුට ද?
ඇත්තෙන් ම, ඔබ විකුණනු ලැබුවේ, ඔබේ අයුතුකම් නිසා ය;
ඔබේ මව ඉවත පලවා හරිනු ලැබුවේ, ඔබේ අපරාධ නිසා ය.
2මා ආ කල, කිසි මිනිසකු එහි නො සිටියේ මන්ද?
මා ඇමතූ කල, පිළිතුරු දෙන්නට කිසිවකු එහි නො සිටියේ මන්ද?
මුදන්නට බැරි ලෙස මගේ හස්තය කෙටි වෙලා ද?
නැතහොත් ගලවන්නට මට බලය නැද්ද?
ඔන්න! මගේ තරවටුවකින් මම මුහුද හින්දවමි.
ගංගා, මම කාන්තාර බවට හරවන්නෙමි.
වතුර හිඟකමින්, එහි මසුන් ගඳ ගසා,
පිපාසයෙන් මැරී යයි.
3මම අහසට අන්ධකාරය අඳවා,
ගෝණි රෙදි එහි වැස්ම කරන්නෙමි.”
4වෙහෙසවූවන් වචනයෙන් දරා සිටින්නට දැනගනු පිණිස,
පරමාධිපති ස්වාමින්වහන්සේ දැනුමැති දිවක් මට දී ඇත.
ඉගෙන ගන්නා කෙනකු මෙන් සවන් දෙන පිණිස,
මගේ සවන් අවදි කරමින්, උන්වහන්සේ උදයෙන් උදය මා අවදි කරන සේක.
5පරමාධිපති ස්වාමින්වහන්සේ මගේ සවන විවර කළ සේක.
මා කැරලි ගැසුවේ නැත.
ආපස්සට හැරුණේ ද නැත.
6මට පහර දෙන්නන්ට මම මගේ පිට පෑවෙමි.
මගේ රැවුල් ඇද දමන්නන්ට මගේ කම්මුල් පෑවෙමි.
සමච්චලයට හා කෙළ පහරට
මා මගේ මුහුණ සඟවා ගත්තේ නැත.
7එහෙත් පරමාධිපති ස්වාමින්වහන්සේ මට උපකාර කළ සේක;
එබැවින් මා නින්දාවට පත් වූයේ නැත.
එබැවින් මම මගේ මුහුණ ගිනිගලක් මෙන් තබාගත්තෙමි.
මා ලජ්ජාවට පත් නො කරනු ලබන වග මම දනිමි.
8මා නිදොස් කරන තැනැන්වහන්සේ ළං ව සිටින සේක.
එසේ නම් මට එරෙහිව චෝදනා නගන්නේ කවුරු ද?
අපි එක් ව නැගිට සිට ගනිමු.
මට එදිරිවාදියා කවුරු ද? කවරෙක් ද?
ඔහු මට ළං වුණා වේ.
9මෙන්න පරමාධිපති ස්වාමින්වහන්සේ මට උපකාර කරන සේක.
මා වරදකරුවකැයි ප්‍රකාශ කරන්නේ කවුරු ද?
ඔන්න! ඔවුන් සැවොම ඇඳුමක් සේ පරණ වනු ඇත.
කාවුන් ඔවුන් කා දමනු ඇත.
10 ස්වාමින්වහන්සේට භයවන්නේත්,
උන්වහන්සේගේ සේවකයාගේ කටහඬට කීකරු වන්නේත් ඔබ අතරින් කවුරු ද?
ආලෝකයක් නොමැතිව
අන්ධකාරයෙහි ඇවිදින ඔහු,
ස්වාමින්වහන්සේගේ නාමය තුළ විශ්වාසය තබා,
තම දෙවියන්වහන්සේ මත බලාපොරොත්තු තබත්වා!
11මෙන්න, එහෙත්, ගිනි අවුළන,
ඇවිළෙන ගිනි පන්දම් සපයා ගන්නා සියල්ලෙනි,
ඔබේ ගින්නෙහි හා
ඔබ ගිනි ඇවිළූ පන්දම්වල එළියෙන් ඇවිදින්න.
මගේ අතින් ඔබ ලබනු ඇත්තේ මෙයයි:
වධ-වේදනාවෙන් ඔබ වැතිර සිටිනු ඇත.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 50: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න