යෙසායා 49:1-7
යෙසායා 49:1-7 SCV
එම්බා දූපත්නි, මට සවන් දෙන්න. දුරස්ථ ජනයිනි, අවධානය දෙන්න. ගර්භාශයේ මා සිටියදී, ස්වාමින්වහන්සේ මා කැඳවූ සේක. මවු කුස තුළ සිටියදී, උන්වහන්සේ මගේ නම සඳහන් කළ සේක. උන්වහන්සේ මගේ මුඛය තියුණු කඩුවක් සේ කළ සේක. ස්වකීය හස්ත-සෙවණැල්ලෙහි මා සැඟ වූ සේක. ඔප දැමූ හීයක් බවට මා පත් කළ උන්වහන්සේ, තම හී කොපුවෙහි මා සැඟ වූ සේක. උන්වහන්සේ කතා කොට, “මගේ සේවකයා ඔබයි ඉශ්රායෙල්, නුඹ තුළින් මම තේජසට පත් වන්නෙමි” යි පැවසූ සේක. එහෙත් මා කීවේ, “නිකරුණේ මම වෙහෙසුණෙමි. මගේ ශක්තිය වැඩකට නැතිව නිෂ්ඵල ව වැය කළෙමි. එසේ වුව ද මගේ හිමිකම ස්වාමින්වහන්සේ සමඟ ය. මගේ ඉටු විපාකය මගේ දෙවියන්වහන්සේ සමඟ ය” කියා ය. ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ මම ගෞරවයට පාත්‍ර වූ බැවින් ද, මගේ දෙවියන්වහන්සේ මගේ ශක්තිය වන බැවින් ද, තමන්වහන්සේ වෙත යාකොබ් ආපසු ගෙන එන්නටත්, ඉශ්රායෙල් තමන් වෙතට එක් රැස් කර ගැනීමටත් ස්වකීය සේවකයා වන පිණිස, මවු කුස තුළ මා සෑදූ ස්වාමින්වහන්සේ දැන් මෙසේ කියන සේක: උන්වහන්සේ මෙසේ කියන සේක: “යාකොබ් ගෝත්‍ර වංශ යළි නගා සිටුවීමටත්, මවිසින් ආරක්ෂා කරන ලද ඉශ්රායෙල්වරුන් ආපසු ගෙන ඒමටත්, මගේ සේවකයා වීම ඔබට ඉතා සුළු කරුණෙකි. පොළෝ සීමා-කෙළවරවල් දක්වා ම මගේ ගැලවීම ගෙනෙනු පිණිස මම අන්‍ය-ජාතීනට ඔබ එළියක් කරන්නෙමි.” ඉශ්‍රායෙල්ගේ මිදුම්කරුවාණන් ද ශුද්ධ තැනැන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන්නේ, තම ජාතිය විසින් ගර්හා කොට, පිළිකුල් කරන ලද්දාවූත්, පාලකයින්ගේ සේවකයා වූත් තැනැත්තාට ය: “රජවරුන් දැක, නැගිට සිටිනු ඇත. අධිපතීන් ද දැක, වැඳ වැටෙනු ඇත. මන්ද ඔබ තෝරා ගෙන ඇත්තේ, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ වූ විශ්වසනීය ස්වාමින්වහන්සේ වන බැවිනි.”

