යෙසායා 45:5-12
යෙසායා 45:5-12 SCV
ස්වාමින්වහන්සේ මම ය; වෙනත් කෙනකු නැත. මා මිස, අන් දෙවියන්වහන්සේ කෙනකු නැත. ඔබ, මා දැන-හැඳින නො සිටිය ද, මම ඔබ සන්නද්ධ කරන්නෙමි. එසේ කරන්නේ, හිරු නැගෙනා තැන පටන් සහ බස්නාහිර පටන් ජනයා, මා හැර අන් කිසිවකු නැති වග දැනගන්නා පිණිස ය. ස්වාමින්වහන්සේ මම ය. මා මිස අන් කෙනකු නැත. මම එළිය තනන්නෙමි; අඳුර මවන්නෙමි. මම සමෘද්ධිය ගෙනෙන්නෙමි: විපත මවන්නෙමි. මේ හැම දෑ කරන්නේ ස්වාමින්වහන්සේ වන මා ය. “එම්බා අහස, ඉහළ සිට වසිනු; වලාකුළු ද දමිටුකමේ වැසි බිම වගුරුවත්වා! පොළොව සපුරා විවෘත වේවා! එය ගැලවීම සහ දමිටුකම ලියලන්නට සලස්වත්වා! ඒවා ලිය ලා පල දරත්වා! ඒවා මැවුවේ ස්වාමින්වහන්සේ වන මා ය. “තම නිමැවුම්කරුවාණන් සමඟ දබර කරන්නාට දුක් වේ. ඔහු, පොළොවේ මැටි බඳුන් අතරේ එක් බඳුනක් පමණි. ‘කුමක් ද ඔබ සාදන්නේ?’ යි මැටි පිඩ එය හැඩගැන් වූ තැනැත්තාට කියයි ද? නැතහොත් ‘ඔබගේ වැඩවල හැඩයක් නැතැ’ යි කියයි ද? පියකු අමතා, ‘කුමක් ද ඔබ ජනිත කරන්නේ?’ යි කියන්නාට ද මවක අමතා, ‘කුමක් ද ඔබ බිහි කරන්නේ?’ යි කියන්නාට ද දුක් වේ! “ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ ද එහි නිමැවුම්කරුවාණන් ද වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මතු පැමිණෙන දෑ සම්බන්ධයෙන්, මගේ දරුවන් ගැන ඔබ මගෙන් ප්‍රශ්න කරනවා ද? නැතහොත්, මගේ අත්වල වැඩ ගැන මට නියෝග දෙනවා ද? මේ පොළොව සෑදුවේත්, ඒ මත මිනිසා මැවුවේත් මම ය. අහස් කුස විහිදා හැරියේ මගේ ම අත්වලිනි. එහි තරු මඩුළු පිළියෙල කළේත් මම ය.

