“ස්වකීය අභිෂේක ලද්දාණන්ට, ඔහු ඉදිරියේ ජාතීන් යටත් කරවන්නටත්,
රජුන් නිරායුධ කරන්නටත්,
ගේට්ටු වසා නො තබන පිණිස
ඔහු ඉදිරියේ දොරටු විවර කරන්නටත්
මවිසින් දකුණතින් අල්ලා ගත් තැනැත්තාට, කෝරෙෂ්ට,
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
මම ඔබට පෙරටුව යමින්,
කඳු සමතලා කරන්නෙමි.
මම ලෝකඩ දොරටු බිඳ,
යකඩ දොර පොලු කපා දමන්නෙමි.
අන්ධකාරයෙහි නිධාන සහ
රහස් තැන්වල නිධන්ගත ධනය මම ඔබට දෙන්නේ,
ඔබේ නම කියා ඔබ කැඳවන මා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන
ස්වාමින්වහන්සේ වග ඔබ දැනගන්නා පිණිස ය.
මන්ද මගේ සේවකයා වන යාකොබ් උදෙසා,
මා තෝරාගත් ඉශ්‍රායෙල් උදෙසා,
මම ඔබේ නමින් ඔබ අමතමි.
ඔබ, මා දැන-හැඳින නො සිටිය ද,
මම ඔබට ගරු නමක් දුනිමි.
ස්වාමින්වහන්සේ මම ය; වෙනත් කෙනකු නැත.
මා මිස, අන් දෙවියන්වහන්සේ කෙනකු නැත.
ඔබ, මා දැන-හැඳින නො සිටිය ද,
මම ඔබ සන්නද්ධ කරන්නෙමි.
එසේ කරන්නේ, හිරු නැගෙනා තැන පටන් සහ
බස්නාහිර පටන් ජනයා,
මා හැර අන් කිසිවකු නැති වග දැනගන්නා පිණිස ය.
ස්වාමින්වහන්සේ මම ය. මා මිස අන් කෙනකු නැත.
මම එළිය තනන්නෙමි; අඳුර මවන්නෙමි.
මම සමෘද්ධිය ගෙනෙන්නෙමි: විපත මවන්නෙමි.
මේ හැම දෑ කරන්නේ ස්වාමින්වහන්සේ වන මා ය.
“එම්බා අහස, ඉහළ සිට වසිනු;
වලාකුළු ද දමිටුකමේ වැසි බිම වගුරුවත්වා!
පොළොව සපුරා විවෘත වේවා!
එය ගැලවීම සහ දමිටුකම ලියලන්නට සලස්වත්වා!
ඒවා ලිය ලා පල දරත්වා!
ඒවා මැවුවේ ස්වාමින්වහන්සේ වන මා ය.
“තම නිමැවුම්කරුවාණන් සමඟ දබර කරන්නාට දුක් වේ.
ඔහු, පොළොවේ මැටි බඳුන් අතරේ
එක් බඳුනක් පමණි.
‘කුමක් ද ඔබ සාදන්නේ?’ යි
මැටි පිඩ එය හැඩගැන් වූ තැනැත්තාට කියයි ද?
නැතහොත් ‘ඔබගේ වැඩවල
හැඩයක් නැතැ’ යි කියයි ද?
පියකු අමතා,
‘කුමක් ද ඔබ ජනිත කරන්නේ?’ යි කියන්නාට ද
මවක අමතා,
‘කුමක් ද ඔබ බිහි කරන්නේ?’ යි කියන්නාට ද දුක් වේ!
“ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ ද එහි නිමැවුම්කරුවාණන් ද වන
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
මතු පැමිණෙන දෑ සම්බන්ධයෙන්,
මගේ දරුවන් ගැන ඔබ මගෙන් ප්‍රශ්න කරනවා ද?
නැතහොත්, මගේ අත්වල වැඩ ගැන මට නියෝග දෙනවා ද?
මේ පොළොව සෑදුවේත්,
ඒ මත මිනිසා මැවුවේත් මම ය.
අහස් කුස විහිදා හැරියේ මගේ ම අත්වලිනි.
එහි තරු මඩුළු පිළියෙල කළේත් මම ය.
මගේ දමිටුකමින්, මම කෝරෙෂ් නැගුටුවන්නෙමි.
ඔහුගේ හැම මාර්ගයක් ම මම ඇද නැති කරවන්නෙමි.
ඔහු, මගේ පුරවරය යළි ගොඩ නගනු ඇත;
පිටුවහල් ව සිටින මගේ ජනයා නිදහස් කරනු ඇත.
එහෙත් ඒ, කිසිදු ගෙවීමකට හෝ පාරිතෝෂයකට නො වේ යැ” යි
සේනාංකවල ස්වාමින්වහන්සේ කියන සේක.