යෙසායා 44:6-11

යෙසායා 44:6-11 SCV

“ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවන් ද ඔහුගේ මිදුම්කරුවාණන් ද වන සේනාංකවල ස්වාමින්වහන්සේ, මෙසේ කියන සේක: පළමු වැන්නා මම ය. අන්තිමයා ද මම ය. මා හැර, අන් දෙවියන්වහන්සේ කෙනකු නැත. මා හා සමාන කවුරු ද? ඔහු එය ප්‍රකාශ කරත්වා! මම මගේ පුරාණ සෙනඟ පිහිටෙවූ දා සිට සිදු වූ දෑ ඔහු ප්‍රකාශ කර, මා ඉදිරියෙහි ගෙන හැර පාත්වා! මතු කවරක් සිදු වේ ද යන්න ඔවුහු අපට කියත්වා! මතු මොනවා වේ දැයි ඔහු අපට පවසත්වා! භය නො වන්න. තැති නො ගන්න; බොහෝ ඉහත පටන් මම මෙය නො කීවෙම් ද? ඔබට ප්‍රකාශ නො කළෙම් ද? මගේ සාක්ෂිකරුවෝ ඔබයි. මා මිස අන් දෙවියන්වහන්සේ කෙනකු වේ ද? අන් පර්වතයාණන් කෙනකු නැත. එවන් එක් කෙනකු ගැනවත් මම නො දනිමි.” දේව රූප හදන සියල්ලෝ හිස්කමකි. ඔවුන් ප්‍රමෝදවත් කෙරෙන දෑ තුළ ලාභ ප්‍රයෝජනයක් නැත. ඔවුන් ලජ්ජාවට පත්වීම ගැන ඔවුන්ගේ සාක්ෂිකරුවනට කිසිවක් නො පෙනේ. නො දැනේ. තමන්ට කිසිදු ප්‍රයෝජනයක් සැලසිය නො හැකි දේව රූපයක් හැඩ ගන්වා, පිළිමයක් වාත්තු කරන්නේ කවරෙක් ද? ඔන්න! එහි සියලු හවුල්කරුවෝ ලජ්ජාවට පමුණුවනු ලබති. පිළිම-ශිල්පීන් හුදෙක් මිනිසුන් පමණි. ඔවුහු සියල්ලෝ එක් රැස් වී, පෙරට එත්වා! ඔවුහු භීතියටත්, අපකීර්තියටත් පමුණුවනු ලබති.