යෙසායා 44:12-20
යෙසායා 44:12-20 SCV
කම්මල්කරුවා කැපුම් ආයුධයක් ගෙන, ගිනි අඟුරු මත වැඩ කරයි. ඔහු මිටියෙන් තලා, හැඩ ගස්වා, තම බාහුවේ සවියෙන් තලයි. ඔහුට කුස ගිනි වෙයි. ඔහුගේ ශක්තිය හීන වෙයි. ඔහු වතුර නො බී, ක්ලාන්තයට පත් වෙයි. වඩුවා කෝදුවෙන් මැන, සැකිල්ල අඳින කටුවකින් සටහන් කර ගනී. ඔහු එය නියනෙන් කපා, කවකටුවෙන් සලකුණු කරයි. නිවසක වාසය පිණිස ඔහු මිනිසකුගේ ස්වරූපයෙන් මිනිස් ශෝභනත්වයෙන් රූපයක් හැඩ ගස්වයි. ඔහු දේවදාර ගස් කපා ගනියි. නැතහොත්, සයිප්‍රස් ගසක් හෝ ආලෝන් ගසක් හෝ තෝරා ගෙන, වනයේ ගස් අතරේ එය වැවෙන්නට හරියි. එසේ නැතහොත් පයින් ගසක් සිටුවයි. වැස්ස එය වැඩෙන්නට සලසයි. ඒවා මිනිසකුට ගිනි දල්වන ඉන්ධන වෙයි. ඔහු එයින් කොටසක් ගෙන, උණුසුම් වීමට යොදා ගනී. ඔහු ගිනි දල්වා, රොටි පුලුස්සා ගනී. ඔහු එයින් දෙවියකුත් තනා, වැඳුම් පිදුම් කරයි; දේව පිළිමයක් තනා, එය නමදිමින්, වැඳ වැටෙයි. දැවවලින් අඩක් ඔහු ගින්නෙහි දවයි. ඒ ගිනි මත ඔහු තම ආහාර පිළියෙල කර ගනියි. ඔහු මස් පිස, කුස පුරා අනුභව කරයි. ඔහු ගිනි තැප, උණුසුම් වී, “අහා මට උණුසුම දැනේ. මට ගිනි දළු පෙනේ” යි කියයි. දැවයේ ඉතිරි කොටසින් ඔහු දෙවියකු කොට තම දේව පිළිමය තනා ගනියි. ඔහු ඊට වැඳ වැටෙමින්, නමදියි. ඔහු ඊට යදිමින්, “මා මුදනු මැනවි, මගේ දෙවියා ඔබ යැ” යි කියයි. ඔවුන් කිසිවක් දන්නේ නැත. ඔවුන්ට කිසිවක් වැටහෙන්නේ නැත. මන්ද ඔවුනට දකින්නට නො හැකි වන ලෙස ඔවුන්ගේ නෙත් වසා ඇත. ඔවුනට වටහා ගත නො හැකි ලෙස ඔවුන්ගේ මනස් වසා ඇත. කිසි කෙනකු සිතා බලන්නේ නැත. “කොටසක් මම දර පිණිස යෙදුවෙමි. එහි ගිනි අඟුරු මත මම රොටි පිලිස්සීමි. මම මස් පිසගෙන, කෑවෙමි. ඉතිරි ලී කොටසින්, මෙවන් පිළිකුලක් තනා ගැනීම මට යුතු ද? ලී කොටයකට මා වැඳ වැටිය යුතු දැ?” යි පවසන්නට කිසිවකුටත් දැනගැන්මක් නැත; වැටහීමක් නැත. ඔහු අළුවලින් පෝෂ්‍ය වන්නා වැන්න. මායාකාරී හදක්, ඔහු මුළා කරයි. තමා ම ගලවා ගන්නට ඔහුට නො හැකි ය. “මගේ දකුණතේ තිබෙන්නේ බොරුවක් නො වේ දැ?” යි අසන්නටත් ඔහුට නො හැකි ය.

