යෙසායා 43

43
ඉශ්‍රායෙල්ගේ ගැලවුම්කරු
1එහෙත් එම්බා යාකොබ්, නුඹ මැවූ තැනැත්තාණන්,
එම්බා ඉශ්‍රායෙල්, නුඹ හැඩගැන් වූ තැනැත්තාණන් වන ස්වාමින්වහන්සේ දැන් මෙසේ කියන සේක:
“භය නො වන්න, මන්ද මම ඔබ මුදා ගත්තෙමි.
නම කියා මම ඔබ කැඳවා ගතිමි. ඔබ මගේ ය.
2දිය මැදින් ඔබ යන විට,
මම ඔබ සමඟ සිටින්නෙමි.
ගංගා මැදින් යන විට,
ඒවා ඔබ යට කර ගලන්නේ නැත.
ගිනි මැදින් ඔබ යන විට,
ඔබ දැවී යන්නේ නැත.
ගිනි දළු ඔබට ගිනි අවුළුවන්නේ නැත.
3මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය,
ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ, ඔබේ ගැලවුම්කරුවාණන් ය.
මම ඔබේ මිදීමේ මිලයට ඊජිප්තුව ද
ඔබේ හිලව්වට කූෂ් හා සෙබා ද දුනිමි.
4මගේ ඇස් හමුවේ ඔබ වටින නිසාත්, ගරුතර නිසාත්,
මම ඔබට ප්‍රේම කරමි.
ඔබ වෙනුවට මිනිසුන් ද ඔබේ ජීවිත වෙනුවට ජනතාවන් ද
මම හුවමාරු වශයෙන් දෙන්නෙමි.
5භය නො වන්න, මන්ද මා ඔබ සමඟ ය.
මම නැගෙනහිර සිට ඔබේ දරු පරපුර ගෙනෙන්නෙමි.
බටහිර සිට ඔබ එකතු කරන්නෙමි.
6මම උතුර අමතා, ‘මුදා හරිනු’ කියාත්,
දකුණ අමතා, ‘නවතා නො ගනු’ කියාත්,
ඈත එපිට සිට මගේ පුතුන් ගෙනෙන්න.
පොළෝ කෙළවරෙහි සිට මගේ දූවරුන් ගෙනෙන්න කියාත් කියන්නෙමි.
7මගේ නාමයෙන් හඳුන්වනු ලබන ඒ හැම කෙනෙක් ම
මගේ මහිමය උදෙසා මවිසින් මවා,
නිර්මාණ කොට සාදන ලද්දෝ වෙති.”
8ඇස් තිබෙන එහෙත් අන්ධ,
කන් තිබෙන එහෙත් බිහිරි ජනයා පිටතට ගෙනෙන්න.
9සියලු ජාතීහු එකට එක් රැස් වෙත්වා!
ජනතාවෝ එක් රොක් වෙත්වා!
කල් මත්තෙන් මේ ගැන කීවේත්,
පූර්ව දේවල් අපට පෙන්වූයේත් ඔවුන් අතරින් කවුරු ද?
“එය සත්‍ය යැ” යි කියනු හැකි වන පිණිස,
තම නිවැරදි භාවය ඔප්පු කිරීමට ඔවුහු තම සාක්ෂිකරුවන් ගෙන එත්වා!
10“මගේ සාක්ෂිකරුවෝ ඔබ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
“ඔබ මා හැඳින, මා විශ්වාස කොට,
උන්වහන්සේ මා වග වටහා ගන්න පිණිස,
මා තෝරාගත් මගේ සේවකයාත් ඔබ ය.
මට පෙරටුව කිසිදු දෙවි කෙනකු සැදුම් ලද්දේ නැත.
මගෙන් පසුව මතු ඇති වන්නේ ද නැත.
11 ස්වාමින්වහන්සේ මම ය. මම ම ය.
මා හැර, අන් ගැලවුම්කරුවෙක් නැත.
12මම හෙළි කළෙමි; ගැලවීමි; ප්‍රකාශ කළෙමි.
මා මිස ඔබ අතරෙහි අන් විදෙස් දෙවියකු නො වේ.
මගේ සාක්ෂිකරුවෝ ඔබ යැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “දෙවියන්වහන්සේ මම ය.
13තවද මතු ද උන්වහන්සේ මම ය.
මගේ අතින් මුදා ගත හැකි කෙනෙක් නැත.
මම ක්‍රියා කරමි. එය වෙනස් කළ හැක්කේ කවරකුට ද?”
දෙවියන්වහන්සේගේ කරුණාව සහ ඉශ්‍රායෙල්ගේ අවිශ්වාසීකම
14ඔබේ මිදුම්කරුවාණන් වූ ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ වන
ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“ඔවුන් ප්‍රීති වන ඔවුන්ගේ ම නැව්වලින්
සියලු ම කල්දිවරුන් පලා යන්නන් ලෙස මෙහි ගෙන එන්නට
ඔබ උදෙසා මම බබිලෝනියට මිනිසුන් යවමි.
15මම ස්වාමින්වහන්සේ ය; ඔබගේ ශුද්ධ තැනැන්වහන්සේ ය.
ඉශ්‍රායෙල්හි මැවුම්කරුවාණෝ ය; ඔබගේ රජ්ජුරුවෝ ය.”
16මුහුද මැදින් පාරක් තැනූ,
මහ ජල කඳ මැදින් මාවතක් තැනූ,
17යළි කිසි දා නො නැගිටින සේ එහි වැදහෙව,
පහනක නිවී-නැතිවී යන ගිනි දැල්ල පරිදි,
වැටී ගිය යුද්ධ රථ හා අශ්වයින් ද
හමුදාව සමඟ බළඇණි ද ගෙන ආ
තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක:
18“පසුගිය දේවල් මතක් නො කරන්න.
ඉපැරණි දෑ ගැන සිත සිතා නො සිටින්න.
19මෙන්න! මම අලුත් දෙයක් කරමි.
එය දැන් පැන නැගේ; ඔබට එය නො වැටහේ ද?
මම පාළුකරයේ මාවතක් ද
මුඩු බිමෙහි ගංගා ද තනන්නෙමි.
20වන මෘගයින්,
සිවලුන් හා උකුසු බකමූණන් මට ගෞරව දක්වති.
මන්ද මා තෝරාගත් මගේ ජනතාවට
බීමට පාළුකරයෙහි ජලය ද
මුඩු බිමෙහි ගංගා ද මා සපයා දෙන බැවිනි.
21මගේ ප්‍රශංසාව ප්‍රකාශ කරන පිණිස,
මවිසින් හැඩ ගස්වන ලද ජනතාවකි ඔවුන්.
22“එහෙත් එම්බා යාකොබ්, නුඹ මෙතෙක් මට හඬ ගැසුවේ නැත.
එම්බා ඉශ්‍රායෙල්, ඔබ මා ගැන වෙහෙසට පත් ව ඇත.
23දවන යාග පූජා සඳහා මා වෙත නුඹ බැටළුවන් ගෙන ආවේ නැත.
ඔබගේ පුද පූජා මගින් මට ගෞරව කළේ නැත.
ධාන්‍ය පූජා සඳහා මා ඔබට බර පැටවූයේ නැත.
සුවඳ දුම් පූජා සඳහා මා ඔබට බල කෙරුවේ ද නැත.
24මා උදෙසා නුඹ සුවඳ දඬු මිලයට ගත්තේ නැත.
ඔබගේ යාග පූජාවල මේදයෙන්, මා තෘප්තියට පත් කළේ ද නැත.
එහෙත් ඔබගේ පව්වලින් ඔබ මට බර පටවා,
ඔබගේ අයුතුකම්වලින් මා වෙහෙසවා ඇත.
25“මම, සැබවින් ම මම, ඔබේ නොපනත්කම්,
මා නිසා ම මකා දමන තැනැන්වහන්සේ ය;
ඔබේ පාප ද තවදුරටත් මා මතක් කරන්නේ නැත.
26මට සිහි කරවන්න.
අපි එක් ව තර්ක කරමු.
ඔබේ නිදොස් බව ඔප්පු කරන්නට කරුණු ඉදිරිපත් කරන්න.
27ඔබේ මුල් පියා පව් කළේ ය.
ඔබේ නියෝජිතයෝ මට එරෙහිව මගේ නීති උල්ලංඝන කළහ.
28එබැවින් ඔබේ ශුද්ධස්ථානයේ අධිපතීන් මම දූෂ්‍ය කරන්නෙමි.
යාකොබ් වංශය විනාශයේ ද
ඉශ්‍රායෙල් ජාතිය නිග්‍රහයේ ද ඉරණමට කැප කරන්නෙමි.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 43: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න