යෙසායා 43:14-28
යෙසායා 43:14-28 SCV
ඔබේ මිදුම්කරුවාණන් වූ ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ඔවුන් ප්‍රීති වන ඔවුන්ගේ ම නැව්වලින් සියලු ම කල්දිවරුන් පලා යන්නන් ලෙස මෙහි ගෙන එන්නට ඔබ උදෙසා මම බබිලෝනියට මිනිසුන් යවමි. මම ස්වාමින්වහන්සේ ය; ඔබගේ ශුද්ධ තැනැන්වහන්සේ ය. ඉශ්‍රායෙල්හි මැවුම්කරුවාණෝ ය; ඔබගේ රජ්ජුරුවෝ ය.” මුහුද මැදින් පාරක් තැනූ, මහ ජල කඳ මැදින් මාවතක් තැනූ, යළි කිසි දා නො නැගිටින සේ එහි වැදහෙව, පහනක නිවී-නැතිවී යන ගිනි දැල්ල පරිදි, වැටී ගිය යුද්ධ රථ හා අශ්වයින් ද හමුදාව සමඟ බළඇණි ද ගෙන ආ තැනැන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “පසුගිය දේවල් මතක් නො කරන්න. ඉපැරණි දෑ ගැන සිත සිතා නො සිටින්න. මෙන්න! මම අලුත් දෙයක් කරමි. එය දැන් පැන නැගේ; ඔබට එය නො වැටහේ ද? මම පාළුකරයේ මාවතක් ද මුඩු බිමෙහි ගංගා ද තනන්නෙමි. වන මෘගයින්, සිවලුන් හා උකුසු බකමූණන් මට ගෞරව දක්වති. මන්ද මා තෝරාගත් මගේ ජනතාවට බීමට පාළුකරයෙහි ජලය ද මුඩු බිමෙහි ගංගා ද මා සපයා දෙන බැවිනි. මගේ ප්‍රශංසාව ප්‍රකාශ කරන පිණිස, මවිසින් හැඩ ගස්වන ලද ජනතාවකි ඔවුන්. “එහෙත් එම්බා යාකොබ්, නුඹ මෙතෙක් මට හඬ ගැසුවේ නැත. එම්බා ඉශ්‍රායෙල්, ඔබ මා ගැන වෙහෙසට පත් ව ඇත. දවන යාග පූජා සඳහා මා වෙත නුඹ බැටළුවන් ගෙන ආවේ නැත. ඔබගේ පුද පූජා මගින් මට ගෞරව කළේ නැත. ධාන්‍ය පූජා සඳහා මා ඔබට බර පැටවූයේ නැත. සුවඳ දුම් පූජා සඳහා මා ඔබට බල කෙරුවේ ද නැත. මා උදෙසා නුඹ සුවඳ දඬු මිලයට ගත්තේ නැත. ඔබගේ යාග පූජාවල මේදයෙන්, මා තෘප්තියට පත් කළේ ද නැත. එහෙත් ඔබගේ පව්වලින් ඔබ මට බර පටවා, ඔබගේ අයුතුකම්වලින් මා වෙහෙසවා ඇත. “මම, සැබවින් ම මම, ඔබේ නොපනත්කම්, මා නිසා ම මකා දමන තැනැන්වහන්සේ ය; ඔබේ පාප ද තවදුරටත් මා මතක් කරන්නේ නැත. මට සිහි කරවන්න. අපි එක් ව තර්ක කරමු. ඔබේ නිදොස් බව ඔප්පු කරන්නට කරුණු ඉදිරිපත් කරන්න. ඔබේ මුල් පියා පව් කළේ ය. ඔබේ නියෝජිතයෝ මට එරෙහිව මගේ නීති උල්ලංඝන කළහ. එබැවින් ඔබේ ශුද්ධස්ථානයේ අධිපතීන් මම දූෂ්‍ය කරන්නෙමි. යාකොබ් වංශය විනාශයේ ද ඉශ්‍රායෙල් ජාතිය නිග්‍රහයේ ද ඉරණමට කැප කරන්නෙමි.

