යෙසායා 42:18-25

යෙසායා 42:18-25 SCV

“බිහිරනි, සවන් දෙන්න; අන්ධයිනි, නුඹලාට පෙනෙන පිණිස බලන්න. කවුරු ද අන්ධ මගේ මෙහෙකරුවා මිස? කවුරු ද බිහිරි මා යැවූ පණිවුඩකරුවා ලෙස? කවුරු ද අන්ධ මට කැප වූ තැනැත්තා සේ? කවුරු ද අන්ධ ස්වාමින්වහන්සේගේ සේවකයා සේ? ඔබ බොහෝ දෑ දකී. එහෙත් ඒවා නිරීක්ෂණ කරන්නේ නැත. ඔබගේ සවන් ඇරී ඇත. එහෙත් ඔබට ඇසෙන්නේ නැත.” ස්වකීය ධර්මිෂ්ඨකම උදෙසා ස්වකීය ව්‍යවස්ථාව විශිෂ්ට හා මහිමාන්විත කිරීම ස්වාමින්වහන්සේගේ මනාපය විය. එහෙත් මේ ජාතිය පැහැර ගනු ලබති. කොල්ලකනු ලබති. ඔවුහු සැවොම වළවල්වල උගුලට හසු වී, සිර ගෙවල සඟවනු ලැබ සිටිති, ගලවා ගැනීමට කිසිවකු නැතිව, නැවත පිහිටවනු ලැබීමට කිසිවකු නැතිව, ඔවුහු කොල්ලයට හසු වී සිටිති. නුඹලා අතරින් මීට සවන් දෙන්නේ කවුරු ද? මතු එළඹෙන කාලයට මනා අවධානය යොමා, සවන් දෙන්නේ කවුරු ද? යාකොබ් වංශය කොල්ලකෑමටත්, ඉශ්‍රායෙල් ජනයා පැහැර ගනු ලැබීමටත් ලක් කළේ කවුරු ද? ස්වාමින්වහන්සේ ම නො වේ ද? උන්වහන්සේට එරෙහිව අපි පව් කළෙමු. මන්ද උන්වහන්සේගේ මාර්ග ඔවුන් අනුගමන කළේ නැත. උන්වහන්සේගේ ව්‍යවස්ථාවට ඔවුන් කීකරු වූයේ නැත. එබැවින් උන්වහන්සේ ඇවිළෙන තම කෝපය හා යුද්ධයේ ප්‍රබලත්වය ඔවුන් පිට වැගුරූ සේක. ඔහු වටකර ගිනි ඇවිළිණි. එහෙත් ඔහු වටහා ගත්තේ නැත. එමඟින් ඔහු දවා දැමිණ. එහෙත් ඔහු එය සිතට ගත්තේ නැත.